01

E   |     |  

 දිනය: 2025-07-08   පිළිතුර ලබා දී ඇත 

0915/2025: 2010-2024 දක්වා ආරම්භ කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති: ගාල්ල දිස්ත්‍රික්කය

915/2025

ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2010 වර්ෂයේ  සිට 2024 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති එක් එක් ප්‍රජා ජල ව්‍යාපෘතියේ ඇස්තමේන්තු  මුදල, ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය, මේ වනවිට වියදම් කර ඇති මුදල, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව, මේ වනවිට ජලය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව සහ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ/කොන්ත්‍රාත් ආයතනයේ නම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඉහත ජල ව්‍යාපෘති අතරින් මේ වනතෙක් ජල පහසුකම් ලබා දී නොමැති ව්‍යාපෘති කවරේද;

(iii) එම ව්‍යාපෘති අසාර්ථක වීමට හේතු කවරේද;

(iv) එම එක් එක් ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය භාරව සිටි නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා අක්‍රමිකතා සිදු වී තිබේ නම්, ඊට වගකිවයුතු නිලධාරින්ට එරෙහිව ක්‍රියා කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-08

අසන ලද්දේ

ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම 01හි දක්වා ඇත.

 

              (ii)      ඇමුණුම 02හි දක්වා ඇත.

 

                        මෙම සම්පූර්ණ ජල ව්‍යාපෘති 29න් ජල ව්‍යාපෘති 9කින් විතරයි ජලය ලබා දීලා තිබෙන්නේ. අනෙක් ඒවායෙන් ජලය ලබා දීලා නැහැ. මම ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කළ වගුව තුළ කුමන ජල ව්‍යාපෘතිවලින්ද ජලය ලබා දී තිබෙන්නේ, කුමන ඒවායින්ද ජලය ලබා දීලා නැත්තේ කියන විස්තර ඇතුළත් වෙනවා.

(iii) ඉදිරියේදී නිම කිරීමට අපේක්ෂා කරන ජල ව්‍යාපෘති සඳහා ගත වන කාලසීමාව ඇමුණුම 02හි සඳහන් වෙනවා.

  පොදුවේ ගත්තාම, ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති 29න් ව්‍යාපෘති 9ක ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙලා තිබෙනවා. ඉදිරියේදී අපේක්ෂිත සියලු ප්‍රතිලාභීන් වෙත ජල පහසුකම් ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.

නමුත්, පොදුවේ ගත්තාම ගාල්ල දිස්ත්‍රික්කයේ 2019-2021 කාලය තුළ සැලසුම් කළ සහ ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය කරද්දී එච්චර සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ. ප්‍රතිලාභී පවුල් 4,887ක සංඛ්‍යාවකට ජලය ලබා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. නමුත්, මේ වන විට ජලය ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ ප්‍රතිලාභී පවුල් 593කට පමණයි. ඒ අනුව බැලුවාම, ඇස්තමේන්තු කළ පවුල් සංඛ්‍යාවෙන් සියයට 12කට ආසන්න පවුල් සංඛ්‍යාවකට විතරයි ජලය ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. ඒ අනුව, එච්චර සාර්ථක ව්‍යාපෘති ප්‍රමාණයක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා කියලා සඳහන් කරන්න බැහැ.

(iv) කේ.කේ. සමන්තිලක මයා - හිටපු අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)

(v) දැනට කරනු ලැබූ පරීක්ෂණ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නිශ්චිතව දූෂණ හා අක්‍රමිකතා සඳහන් නොවුණත්, ඒවා සොයාගන්න බැරිවුණත්, කොන්ත්‍රාත් කළමනාකරණය කිරීමේදී දුර්වලතා කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් සමහර ප්‍රජා මූල සංවිධාන සහ සමහර ආයතන විසින් කරපු කොන්ත්‍රාත් කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ වාගේම ඒ මූලික විමර්ශනවලින් සමහර නිර්දේශ දැනටමත් ඉදිරිපත් වෙලා තිබෙනවා. ලැබී තිබෙන නිර්දේශ අනුව ඉදිරියේදී කටයුතු කරන්න අපිබලාපොරොත්තු වෙනවා.

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks