01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

0902/2025: සත්ව සංගණනය: අරමුණු සහ පිරිවැය

902/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ සත්ත්ව සංගණනය සිදු කරන ලද දිනය කවරේද;

            (ii)      එම සංගණනය සඳහා වියදම් කරන ලද මුදල කොපමණද;

           (iii)      එම සත්ත්ව සංගණනය කිරීමේ අරමුණු කවරේද;

(iv) එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) මේ වනවිට එම සංගණනයට අදාළ  ප්‍රගතිය කවරේද;

(vi) එම සංගණනය අනුව රිලවුන්, වඳුරන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සත්ත්ව සංගණනය සිදු කරන ලද ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;

(ii) සත්ත්ව සංගණනය සිදු නොකරන ලද ග්‍රාම නිලධාරි වසම් කවරේද;

(iii) එම ග්‍රාම නිලධාරි වසම්වල සත්ත්ව සංගණනය සිදු නොකිරීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2025.03.15

(ii)      සංගණන පත්‍රිකා මුද්‍රණය සඳහා

(රජයේ මුද්‍රණාලය)    - රු. 2,478,000

    පුවත් පත් දැන්වීම් සඳහා            - රු.      65,844

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

හරහා මහජනයාට සංගණන

පත්‍රිකා බෙදා හැරීම සඳහා

වූ පරිපාලන වියදම්                 - රු. 1,200,000

 

(එක් දිස්ත්‍රික්කයකට රුපියල්

48,000 බැගින්) පූර්ව සංගණන

වියදම - රු.      18,030

ප්‍රවාහන වියදම - රු.    154,440

මුළු වියදම - රු. 3,916,314

 

නමුත්, රුපියල් කෝටි 7කට වැඩි වියදමක් මේ සඳහා දැරුවා කියලා විවිධ අසත්‍ය ප්‍රචාර ගියා. අපි ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කරලා තිබෙනවා. මේ සංගණනය සඳහා සමස්ත වියදම වශයෙන් ගියේ රුපියල් 3,916,314යි.

(iii) මින් පෙර මෙවැනි සංගණනයක් සිදු කර නොමැති බැවින් ආහාර භෝග වගාවන්ට සිදුවන වන සත්ව හානි අවම කිරීම සඳහා හානිකර වන සතුන්ගේ ගහනයන් පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව සුදුසු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම හා නිර්දේශ සකස් කිරීම කියන කාරණය තමයි මෙහි මූලික අරමුණ වෙන්නේ.

(iv) ආහාර භෝග වගාවන්ට බහුල වශයෙන් හානි සිදු කරන එ‍මෙන්ම ක්ෂේත්‍රවලට ඉහළින් පැමිණෙන වන සතුන් ලෙස සැලකෙන වඳුරා, රිළවා, දඬු ‍ලේනා හා මොනරා පිළිබඳ ගහන සමීක්ෂණයක් පවත්වන ලද අතර, ද්විකරණය වැළැක්වීමට දිවයින පුරා එකම වේලාවට නිවෙස්වල සාමාජිකයන් හා ‍පොදු ස්ථානවල රජයේ නියෝජිතයන් විසින් සත්ව සංගණනය සිදු කරන ලදී.

(v) ඉහත සත්ව සංගණනයේ ප්‍රතිඵල 2025 අප්‍රේල් මස වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් අමාත්‍යාංශය වෙත ලැබුණු අතර, අනතුරුව එහි සත්‍යාපන කාර්යයන් ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල සියයට 50ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ සංඛ්‍යාත්මක අගයන්හි සියයට 50ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර භෝග වගාවන්ට සිදුවන වන සත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී.

සත්‍යාපන කටයුතුවලින් අනතුරුව අදාළ සත්ව කාණ්ඩයේ පැතිරීම, අවදානම් කලාප හඳුනාගත හැකි ලෙස ප්‍රදේශ අනුව සිතියම්ගත කරන ලදී.

  සිතියම්ගත කිරීම මඟින් සත්ව ගහන වැඩිපුර පවතින දිස්ත්‍රික්ක සහ දිස්ත්‍රික්ක වෙන් වෙන් වශයෙන් සැලකීමේදී අදාළ දිස්ත්‍රික්ක තුළ             වැඩි සත්ව ගහනයක් සිටින ප්‍රාදේශීය                   ලේකම් කොට්ඨාස හඳුනා ගැනීම මෙන්ම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස තුළ වැඩි ගහනයක් පවතින අදාළ ග්‍රාම නිලධාරි වසම් හඳුනා ගැනීමේත් හැකියාව ඇත.

ඒ අනුව, රට තුළ දීපව්‍යාප්තව සිදු කරන ලද ජාතික සත්ව සංගණනයට අදාළ සම්පූර්ණ නිල වාර්තාව මේ වන විට සකසා අවසන් කර රටේ ප්‍රසිද්ධ කර ඇත.

 (vi) ජාතික සත්ව සංගණනයට අදාළ නිල වාර්තාවට අනුව,

රිළවුන් - 5,197,517

වඳුරන් - 1,747,623

දඬු ලේනුන් - 2,666,630

මොනරුන් - 4,285,745ක් 

ඉන්න බව එම වාර්තාවල තිබෙනවා. [බාධා කිරීමක්]  තලගොයි පිළිබඳව කළේ නැහැ. ඒ සමීක්ෂණයට ඔබතුමන්ලාත් අහුවෙයි, ඉදිරියේදී කරනකොට.

(ආ) (i) දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් යොමු කරන ලද තොරතුරු අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත හැර දිවයිනේ අනෙක් සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි සත්ව සංගණනය සිදුකර ඇත.

(ii) යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරි වසම් 06ක සිදු කර නැත.

(iii) ඩෙල්ෆ්ට් දූපත තුළ සත්ව සංගණනයේදී සලකා බැලූ සතුන් වර්ග 04 වාසය නොකිරීම.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks