01

E   |     |  

 දිනය: 2025-07-08   පිළිතුර ලබා දී ඇත 

0865/2025: තේ කර්මාන්තයේදී නිපදවෙන කසළ තේ: විස්තර

865/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       තේ නිෂ්පාදනයේදී, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවල කසල තේ/ප්‍රතිසැකසුම් තේ නිෂ්පාදනය වන බවත්;

            (ii)       එම කසල තේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ බලපත්‍රයක් මත කර්මාන්තශාලාවෙන් බැහැර කිරීමට අවසර ලබා දෙන බවත්;

(iii) නමුත්, එම  බැහැර කිරීමේ ක්‍රියාවලිය 100% ක්ම නීත්‍යානුකූලව සිදු නොවන බවත්;

(iv) එම කසල තේ, CTC තේ නිෂ්පාදන කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කරනු ලබන තේ බවට නම් කර, කොළඹ තේ වෙන්දේසියේ විකුණන බවත්;

(v) එම කසල තේ නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ අපනයනය කරනු ලබන බවත්;

(vi) එම තත්ත්වය ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනයට බාධාවක් වන අතර ‘Ceylon Tea’ කීර්තිනාමයට හානියක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)   (i) එසේ නම්, කසල තේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

(ii) කසල තේ අපනයනය තහනම් කිරීමට පියවර ගන්නේද;

(iii) නොඑසේ නම්, කසල තේ අපනයනය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-08

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්. එම තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවසරය මත තේ කර්මාන්තශාලාවේ සිට තේ ප්‍රතිසැකසුම් මධ්‍යස්ථාන වෙත හා ක්ෂණික තේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වෙත බැහැර කිරීමට අවසර ලබා දේ.

            (iii)      නැත. එම බැහැර කිරීමේ ක්‍රියාවලිය 100%ක්ම නීත්‍යනුකූලව සිදු කිරීමට කටයුතු කරයි.

නීතියට පටහැනිව සිදු කරන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් හඳුනාගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.

(iv) නැත. නීත්‍යනුකූලව එසේ සිදු විය නොහැක.

කොළඹ තේ වෙන්දේසිය හරහා විකුණන තේ තොගයන්හි සාම්පල පරීක්ෂා කර බලා සුදුසු තේ පමණක් විකිණීමට ඉඩ ලබා දෙනු ලැබේ.

(v) නැත. කසළ තේ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනුමැතිය ලබා නොදේ.

තේ ලෙස නිශ්චිතව හඳුනාගත හැකි කේත අංක -HS කේතය- සහිත තේ පමණක් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අවසර ලබා දේ.

(vi) දනිමි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සෑම විටම HS කේතය සහිත, නිශ්චිතවම තේ ලෙස හඳුනාගත හැකි තේ පමණක් අපනයනය සඳහා අවසර ලබා දේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුවන සියලු තේ අපනයනය කිරිම්  සඳහා අදාළ තේ පරීක්ෂා  සිදු කිරීමෙන් අනතුරුව අපනයනය කිරීමට අනුමැතිය ලබා දෙයි.

(ආ) (i) කසළ තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම 1957 අංක 51 දරන තේ පාලන පනතේ විධිවිධාන යටතේ සිදු කරනු ලැබේ. කසළ/ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය වේ. වලංගු බලපත්‍රයක් රහිතව කසළ/ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම එකී පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

(ii) කසළ තේ අපනයනය කිරීමට අවසර ලබා නොදේ.

(iii) කසළ තේ අපනයනය කිරීමට නීත්‍යනුකූලව ඉඩ ලබා නොදේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks