පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
853/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාවූ ගෘහස්ථ කාන්තා හිංසන සිද්ධීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ගෘහස්ථ කාන්තා හිංසන සිද්ධීන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) ගෘහස්ථ කාන්තා හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-19
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා සහ ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික කාන්තා කමිටුවේ ස්ථාපිත 1938 කාන්තා උපකාරක දුරකථන සේවාව වෙත සහ ශ්‍රී ලංකා පොලීසිය වෙත 2015 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ලද ගෘහස්ථ කාන්තා හිංසන පැමිණිලි පහත පරිදි වේ.
|
අංකය |
වර්ෂය |
1938 කාන්තා උපකාරක දුරකථන සේවය වෙත ලද පැමිණිලි සංඛ්‍යාව |
ශ්‍රී ලංකා පොලීසිය වෙත ලද පැමිණිලි සංඛ්‍යාව |
එකතුව |
|
01. |
2015 |
399 |
124907 |
125306 |
|
02. |
2016 |
791 |
129494 |
130285 |
|
03. |
2017 |
754 |
127927 |
128681 |
|
04. |
2018 |
846 |
124224 |
125070 |
|
05. |
2019 |
1173 |
124703 |
125876 |
|
06. |
2020 |
2324 |
121513 |
123837 |
|
07. |
2021 |
3499 |
122778 |
126277 |
|
08. |
2022 |
1796 |
137677 |
139473 |
|
09. |
2023 |
2034 |
136221 |
138255 |
|
10. |
2024 |
1534 |
144024 |
145558 |
|
11. |
2025 සැප්තැම්බර් දක්වා |
1114 |
111929 |
113043 |
මේ පැමිණිලිවල එකතුව ගත්තාම බොහෝ වර්ෂවල 125,000කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා.
(ii) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ පොලීසිය විසින් ගන්නා ක්‍රියාමාර්ග විධියට කොටස් දෙකක් යටතේ තමයි උත්තරය සකස් කරලා තිබෙන්නේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග:
1. ගෘහස්ථ හිංසනවලට අදාළව ලැබෙන පැමිණිලිවලට අදාළ වින්දිත කාන්තාවන් 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමේ කටයුතු සඳහා නීති ආධාර කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා පොලීසිය වෙතට යොමු කරනවා.
2. ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත පිළිබඳව සහ කාන්තාවන් හා දරුවන් මුහුණ දෙන හිංසනය වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපති වරුන්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරුන් තුළ සංවේදීභාවය හා ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා, කාන්තා කමිටුව විධියට. එවැනි වැඩසටහන් පසුගිය වසරවල දිගටම සංවිධානය කරලා ඒවා ක්‍රියාත්මක කරලා තිබෙනවා.
|
වර්ෂය |
දිස්ත්‍රික්කය |
|
2025.02.28 |
අනුරාධපුරය |
|
2025.03.11 |
හම්බන්තොට |
|
2025.10.17 |
මොනරාගල |
3. 2025 වර්ෂයේ ජාතික කාන්තා කමිටු ක්‍රියාකාරී සැලැස්ම යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරලා තිබෙනවා.
· සේවා ස්ථානවල සේවය කරන නිලධාරින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන පිළිබඳව දැනුවත් කිරීමේ සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් පවත්වලා තිබෙනවා. මේ වනවිට 2025 වර්ෂය සඳහා රාජ්‍ය අංශයෙ වැඩසටහන් 4ක් පවත්වලා තිබෙනවා.
මේ විධියට විවිධ වැඩසටහන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ කාන්තා කමිටුව හරහා සිදු කරලා තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර ප්‍රමාණයක් තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග:
1. දැනුවත් කිරීමේ හා උපදේශන වැඩසටහන් පැවැත්වීම
ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය හා පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් ස්ථාපිත කර ඇති ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකක සහ මෙම විෂයයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත රජයේ නිලධාරින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින් හා නීති ආධාර සේවා කොමිෂන් සභාවේ දිස්ත්‍රික් නියෝජිතයන් සමඟ එක්ව ගෘහස්ථ හිංසන වළක්වා ගැනීමට අවශ්‍ය උපදේශන වැඩසටහන් පවත්වනු ලබයි. තවද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකක, මහජන ආරක්ෂක කමිටු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත රජයේ නිලධරයන්ගේ සහාය ඇතිව ග්‍රාමීය මට්ටමින් දැනුවත් කිරීම් සිදු කරනු ලබයි.
2. කාන්තා හිංසනයට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීම
කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසන සම්බන්ධයෙන් ඉතා කඩිනමින් අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම හා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා හා ළමා අපයෝජන හා විමර්ශන කාර්යාංශය තුළ 109 හදිසි මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇති අතර, එමඟින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබයි.
3. නිලධාරින් සඳහා දැනුම හා පුහුණුව ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මඟින් පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් පවත්වාගෙන යනු ලබන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකකවලට අනුයුක්ත නිලධාරින් සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මඟින් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ එම පනතේ ප්‍රතිපාදන ක්‍රියාවේ යෙදවීම සම්බන්ධව අවශ්‍ය දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
(iii) ජාතික කාන්තා කමිටුව මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් ගෘහස්ථ කාන්තා හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග ගනු ලබයි.
1. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අදාළ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.
ඒකේ අඩුපාඩු ටිකක් තිබෙනවා. ඒක සංශෝධනය කරන්න අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු වෙමින් යනවා.
2. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරින් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ නෛතිකව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම.
3. ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවක් සම්බන්ධ- යෙන් පැමිණිල්ලක් ලද වහාම විමර්ශන පවත්වා ආරක්ෂණ නියෝග ලබා ගැනීම හා පැමණිලි පාර්ශ්වයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවන්හිදී දෙපාර්ශ්වයම උපදේශනය සඳහා යොමු කිරීමට කටයුතු කිරීම සිදු කෙරේ.
මොකද අපි දන්නවා, බොහෝවිට එවැනි අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න කැමැති නැහැ කියලා. ඒ නිසා උපදේශනය සඳහා යොමු කිරීම කරනවා.
4. ගෘහස්ථ කාන්තා හිංසන යටතේ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය ප්‍රකාරව ක්‍රියා කළ යුතු පහරදීම්, අපචාර, ස්ත්‍රී දූෂණ වැනි සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව කඩිනමින් අධිකරණ ක්‍රියා- -මාර්ගයන්ට එළඹීමට කටයුතු කරනු ලබයි.
5. 2024 අංක 37 දරන කාන්තාවන් සවිබලගැන්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළව එම කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව නියෝජිතයන් මේ වනවිට ගරු ජනාධිපතිතුමා විසින් පත් කර ඇත.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අත්‍යාසන්න උල්ලංඝනය වීමකදී ඒ සඳහා මැදිහත්වීමේ හැකියාව පවතී. තවද, අයිතිවාසිකම් කඩවූවන්ගේ පැමිණිලි ලබා ගැනීම, ඒවා විමර්ශනය කිරීම හා ඊට අදාළ යම් නඩු කටයුතුවලදී එකී අධිකරණවල අවසරය සහිතව ඊට මැදිහත්වීම මෙන්ම සිය මෙහෙයවීමෙන් නඩු පැවරීමටද හැකියාව පවතී.
ඒ කියන්නේ, 2024 අංක 37 දරන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවන්න අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් වෙලා තිබෙනවා. පසුගිය කාලයේ ඒක පිහිටුවන්න කටයුතු කරලා තිබුණේ නැහැ. මේ වෙනකොට එම කොමිෂන් සභාවට අදාළ සාමාජිකයන් හත්දෙනා පත් කර තිබෙනවා. ඒ වාගේම සභාපති පත් කර තිබෙනවා. ඊට අමතරව විධායක අධ්‍යක්ෂවරයෙක් අවශ්‍යයි. ඒ වාගේම cadre එකක් අනුමත කර ගන්න අවශ්‍යයි. ඒ වාගේම කොමිසම පැවැත්වීමට තැනක් සකස් කර ගන්න ඕනෑ. ඒ ක්‍රියාවලිය අවසන් වුණාම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම බලාත්මක වෙනවා.
තවද, මෙම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් යනුවෙන් හඳුන්වනු ලබන තැනැත්තෙකුද පත් කළ යුතුව ඇත.
ඒ කියන්නේ, ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න මේ සම්මත වෙලා තිබෙන පනතට අනුව තීරණය කර තිබෙනවා. තවම ඒ පත් කිරීම කරලා නැහැ. ඒ පත් කිරීම කර ගන්න අවශ්‍ය වෙනවා.
එසේම කාන්තා අභිවෘද්ධිය සහ සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නත් මේ පනත අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමට බලය ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙනුත් අවශ්‍ය කටයුතු කරනවා.
6. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී එළිදැක්වීමට අදහස් කර ඇති ඒකාබද්ධ පැමිණිලි වාර්තා කිරීමේ පද්ධතිය අනුව පැමිණිලි ද්වීකරණය වැළැක්වේ. එමෙන්ම ඒකාබද්ධ ප්‍රවේශයෙන් විසඳුම ලබාදෙන තෙක් පැමිණිල්ල විමර්ශනය කෙරේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks