බලන්න

E   |     |  

 දිනය: 2025-11-06   පිළිතුර ලබා දී ඇත 

0851/2025: පල්ලෙකැලේ බන්ධනාගාරයේ තදබදය අඩු කිරීම: ක්‍රියාමාර්ග

851/2025

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම බන්ධනාගාරයේ රැඳවීමට හැකි රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම බන්ධනාගාරයේ නව ඉදිකිරීම් කඩිනම් කර, මේ වනවිට බන්ධනාගාරයේ පවතින තදබදය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-06

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)        2026.01.04 දිනට 2,246.

(ii)         699

        (iii)         ·     පෙර පැවැති බෝගම්බර බන්ධනාගාරය හා නුවර රිමාන්ඩ් බන්ධනාගාරය විතැන් කරමින් කාන්තා රැඳවියන් 400ක් හා පිරිමි රැඳවියන් 2,500ක් රැඳවීමට පහසුකම් සැපයීමට සහ නිලධාරින් සඳහා නිල නිවාස 102ක් සහිතව දුම්බර බන්ධනාගාරය ඉදි කිරීමට සැලසුම් කරන ලදී.

එහි ප්‍රතිශෝධිත ඇස්තමේන්තුව අනුව සමස්ත පිරිවැය රුපියල් මිලියන 4,363කි. මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා වැඩ අධීක්ෂණ කටයුතු ඉංජිනේරු උපදේශක සමාගම -EC- මඟින් සිදු කරනවා.

මේ දක්වා වාර්ෂිකව වෙන් වන ප්‍රතිපාදන ඉලක්ක කර ගනිමින් කොන්ත්‍රාත් 11ක් යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ රුපියල් බිලියන 1.9ක මුදලකට ගිවිසුම්ගත වී එම කාර්යයන් සම්පූර්ණයෙන්ම නිම කර ඇති අතර, බන්ධනාගාරයේ ප්‍රධාන ආරක්ෂිත පවුර, කාර්යාල ගොඩනැඟිලි, මුළුතැන්ගෙය හා ගබඩා, බැරැක්ක ඉදිකිරීම හා යෝජිත රැඳවියන් රඳවා තබන ගොඩනැඟිලිවලින් කොටසක් ඉදි කර 2026 ජනවාරි 04 දින වන විට රැඳවියන් 2,139ක ප්‍රමාණයක් රඳවා තබන්න හැකියාව ලැබී තිබෙනවා.

• ඒ අනුව 2025 වර්ෂයේ නොවැම්බර් මස අවසන් වන විට කොන්ත්‍රාත් අංක - 12හි භෞතික ප්‍රගතිය සියයට 90ක් ද, කොන්ත්‍රාත් අංක - 13හි භෞතික ප්‍රගතිය සියයට 0.9ක් ද වන අතර 2025 වර්ෂය සඳහා ව්‍යාපෘතියේ සමස්ත මූල්‍ය ප්‍රගතිය රුපියල් මිලියන 197.28ක් වශයෙන් දැක්විය හැකියි.

• මේ වන විට බන්ධනාගාර තදබදය පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයට පමණක් සීමා වී නොමැති අතර, සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළම සියයට 300කට වඩා වැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. වාර්ෂිකව වෙන් වන ප්‍රතිපාදන අනුව මෙහි ඉදිකිරීම් නිම කිරීමට කටයුතු කරන අතර, දැනට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි පුද්ගලයන් පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමටත් වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතිනවා. මීට අමතරව, රජයේ ගොඩනැඟිලි කිහිපයක් බන්ධනාගාර රැඳවියන් තාවකාලිකව රඳවා තැබීම සඳහා මේ වන විට පවරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. එමඟින් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ පවතින තදබදය ද ඉදිරියේදී අවම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks