01

E   |     |  

 දිනය: 2025-07-08   පිළිතුර ලබා දී ඇත 

0849/2025: පෞද්ගලික ඉඩම් විකිණීමේදී වෙන් කරන පොදු ඉඩම් ‍කොටස්: මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

849/2025

ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       පෞද්ගලික ඉඩමක් කැබැලි කර අලෙවි කිරීමේදී එම ඉඩමෙන් යම් භූමි ප්‍රමාණයක් පොදු ඉඩමක් ලෙස භාවිතයට ගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය සභාවට භාර දිය යුතු බවත්;

(ii) අදාළ ප්‍රාදේශීය සභාව විසින් එම පොදු ඉඩම, පදිංචිකරුවන්ගේ පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන් කළ යුතු බවත්;

‍(iii) කිසිදු හේතුවක් මත, පොදු ඉඩම් කොටස් පෞද්ගලික පරිහරණය සඳහා වෙන් කළ නොහැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සතු පොදු ඉඩම් සංඛ්‍යාව සහ එම එක් එක් ඉඩමේ විශාලත්වය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සතු පොදු ඉඩම් මේ වනවිට සමහර පුද්ගලයන් විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බව දන්නේද;

(iii) එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iv) ඔවුන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

‍ (v) නිල්පනාගොඩ ග්‍රාම නිලධාරි වසමේ ‘අඹ සෙවන වත්ත’ ඉඩමට අයත් පොදු ඉඩමේ ප්‍රාදේශීය දේශපාලඥයකුගේ සහෝදරයකු විසින් අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් සිදු කර තිබේද; 

(vi) එසේ නම්, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-08

අසන ලද්දේ

ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

            ‍(iii)      ඔව්.

(ආ)         (i)      ඉඩම් කොටස් 99ක් පවතින බව හඳුනාගෙන ඇති අතර, එම ඉඩම්වල භූමි ප්‍රමාණය ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.

                        සභාව සතු පොදු ඉඩම් තවදුරටත් පවතින්නේ ද යන්න සහ එම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් දන්වා ඇත.

  (ii) ඔව්.

(iii) සභාව සතු නිල්පනාගොඩ, මැඩෑමුල්ල නමැති ගමෙහි පිහිටි "පරගහවත්ත එස්ටේට්" නමැති වෙන්දේසි කරන ලද ඉඩමෙහි "අඹ සෙවන වත්ත" නමැති ඉඩමෙහි පර්චස් 40ක (Lot අංක 18 හා 19) පොදු බිම් කොටස් 02ක් අනවසර පදිංචිකරුවකු වන නිල්පනාගොඩ, අඹ සෙවන, අංක 293/18 ලිපිනයේ පදිංචි ගාමිණී හදුවල මහතා විසින් භුක්ති විඳින බවට අනාවරණය වී ඇත.

එමෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල තවත් අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් දන්වා ඇත.

(iv) 1979 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී.

(v) එම ස්ථානයේ අනවසරයෙන් පදිංචි වී සිටින ගාමිණී හදුවල නමැති පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නයේ සඳහන් ඥාති සම්බන්ධතාව තහවුරු කර ගැනීම සඳහා සභාව සතුව තොරතුරු නොමැත. තවද, එම ස්ථානයේ ගොඩ කිරීමක් කර, අනවසර ඉදිකිරීමක් කර ඇති බව සභාවේ තාක්ෂණ නිලධාරියාගේ නිරීක්ෂණය අනුව සභාවේ ලේකම් විසින් තහවුරු කර ඇත.

(vi) 1979 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks