01

E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

0834/2025: මහනුවර නගරය: වායු ගුණාත්මකභාවය

834/2025

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක දර්ශකය අනුව මහනුවර නගරය ඉතා අවදානම් මට්ටමක පවතින බව දන්නේද;

              (ii)       ඒ සඳහා බලපාන ලද සාධක කවරේද;

            (iii)       මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංසරණ වායුගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කරන අතර, එම දත්තවලට අනුව මහනුවර නගරයේ වායු තත්ත්වය ජාතික සම්මත ප්‍රමිතිවලට අනුකූලව වේ.

                           ගරු කථානායකතුමනි, සැප්තැම්බර් 7වැනි දා "ජාත්‍යන්තර නිල් අහස් දිනය" පැවැත්වුණා. එදා අපි වායුගෝලයේ ගුණාත්මකභාවය හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ජාතික වෙබ් අඩවියක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනගත කළා. ඒ ජනගත කළ වෙබ් අඩවිය පාවිච්චි කරලා, ඕනෑම මොහොතක ඒ මොහොතේ අදාළ නගරයේ තිබෙන වායු තත්ත්වය නිරීක්ෂණය කර ගන්න පුළුවන්. ඒ නිල වෙබ් අඩවිය තමයි  www.aq.cea.lk  කියන වෙබ් අඩවිය.

ඒ වෙබ් අඩවිය භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වෙනවා. මම ගරු මන්ත්‍රීතුමියට ආරාධනා කරනවා, ඔබතුමියගේ සභා මේසය මත තිබෙන ලැප්ටොප් පරිගණකයෙන් එම වෙබ් අඩවියට පිවිසෙන්න කියලා. එම වෙබ් අඩවියේ තිබෙනවා, අද දවසේ - මේ මොහොතේ - නුවර වායුගෝලයේ තත්ත්වය. එම තත්ත්වය good. එය කොළ පාටින් සලකුණු වෙලා තිබෙනවා. ඊට අමතරව මේ මොහොතේ නුවර උෂ්ණත්වය, humidity එක ඇතුළු සියලු තොරතුරු ඒ වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නේ, මධ්‍යම පරිසර අධිකාරියත්, NBRO එකත්, VETT Fund එකත්, පරිසර අමාත්‍යාංශයත් සම්බන්ධ වෙලා. අපි පසුගිය සැප්තැම්බර් 8වැනි දා තමයි එම වෙබ් අඩවිය ජනගත කළේ. ඉතින්,  දැන් ඔබතුමන්ලා සියලුදෙනාට පුළුවන් එම වෙබ් අඩවිය හරහා, ලංකාවේ ඒ ඒ නගරවල ඕනෑම වේලාවක වායුගෝලයේ තත්ත්වය නිරීක්ෂණය කරන්න.

ඇතැම් දිනවල අන්තර් දේශ සීමා හරහා එන වායු දූෂකාරකවල  - සියුම් අංශුවල - බලපෑම මත පැය කිහිපයක් පමණ නුවර වායුගෝලයේ ගුණාත්මකභාවයේ පහළ යෑම් නිරීක්ෂණය වී තිබෙනවා. නමුත්, පොදුවේ ගත්තොත් නුවර වායුගෝලීය තත්ත්වය ඉතා අවදානම් මට්ටමක පවතිනවාය කියලා නිරීක්ෂණය වෙන්නේ නැහැ.

(ii) ඔක්තෝබර් මස සිට මාර්තු මාසය දක්වා කාලය තුළ සමහර දිනවලදී  - පැය කිහිපයක් පමණ - අන්තර් දේශ සීමා හරහා මෙරටට පැමිණෙන වායු දූෂකාරක හේතුවෙන් කාලගුණික බලපෑම් වාර්තා වන අතර, එය මුළු දිවයිනටම බලපාන තත්ත්වයකි. එය නුවරට විතරක් බලපාන තත්ත්වයක් නොවෙයි.

(iii) සමස්තයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව වායු තත්ත්ව කළමනාකරණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

නියාමන කටයුතු සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කර ක්‍රියාත්මක කිරීම.

• ජාතික පාරිසරික  - වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති - නියෝග 1295/11 (2003), 1557/14 (2008), 1887/20 (2014), 2079/42 (2018), 2083/03 (2018) නියෝග හඳුන්වා දී ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා වාහන වායු විමෝචන වැඩසටහන ආරම්භ කරන ලද අතර, මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව,  ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නියාමනය කරයි.

• ජාතික පාරිසරික (ස්ථානීය ප්‍රභව වායු විමෝචන පාලනය) නියෝග නිකුත් කර ඇත. මෙම නියෝග මඟින්,  කර්මාන්ත මඟින් සිදුවන වායු දූෂණය පාලනය සඳහා නියමයන් දක්වා ඇති අතර, අප අධිකාරිය විසින් ලබාදෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදයේදී සහ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේදී නියාමනය වේ.

• ජාතික පාරිසරික (විවෘත පරිසරයේ කසළ දහනය තහනම් කිරීමේ නියෝග) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නියාමනය කෙරේ.

වායු තත්ත්ව පසුවිපරම් කටයුතු සිදු කිරීම.

• මධ්‍යම පරිසර අධිකාරිය වායු තත්ත්ව පසු විපරම් කරන සෙසු ආයතන සමඟ සංසරණ වායුගෝලයේ තත්ත්වය අඛණ්ඩව පසු විපරම් කරන අතර, වායු ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර ජනතාව දැනුවත් කිරීම සඳහා ද,  දේශීයව සිදු විය හැකි වායු දූෂකාරක ප්‍රභව පාලනය කිරීම සඳහා ද මෙම කළමනාකරණ සැලැස්ම මඟින් ක්‍රමවේදයන් සකස් කර ඇත.

• ඊට අමතරව ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම 2022-2030 යටතේ ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය සඳහා උපාය මාර්ග 10ක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී වායු තත්ත්ව ගුණාත්මකභාවය කළමනාකරණය කිරීමට අදාළ වන ප්‍රමුඛ ආයතන 11ක් හඳුනාගෙන පරිසර අමාත්‍යාංශය මූලිකත්වයෙන් අන්තර් ආයතන සම්බන්ධිත කමිටුවක් මඟින් එම ආයතනවලට අදාළ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරනු ලබයි.

අන්තර් දේශ සීමා හරහා එන වායු දූෂණය පාලනය කිරීම.

• ශ්‍රී ලංකාව අන්තර් දේශ සීමා හරහා එන වායු දූෂණය පසු විපරම් කිරීම, පාලනය කිරීම හා ඒ සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව ලබා ගැනීම සඳහා පිහිටුවන ලද මාලේ ප්‍රකාශය - Male Declaration - නැමති වැඩසටහනක් සඳහා සම්බන්ධීකරණය වී කටයුතු කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැත. ඒ අනුව මෙම ගැටලුවට ගෝලීය හා කලාපීය අවධානය යොමු කර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දකුණු ආසියානු සහයෝගීතා පාරිසරික වැඩසටහනේ - South Asia Co-operative Environment Programme, SACEPහි - සහයෝගය ලබාගෙන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks