බලන්න

E   |     |  

 දිනය: 2025-11-18   පිළිතුර ලබා දී ඇත 

0827/2025: ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම: 2022-2024 දක්වා ගෑස් ආනයනය සහ හදිසි මිලදී ගැනීම්

827/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2022 සිට 2024 දක්වා සීමාසහිත ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)       එම ගෑස් ආනයනය කිරීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) ඉහත කාලය තුළදී හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගෙන ඇති ගෑස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) හදිසි මිලදී ගැනීමකදී හා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සිදු කරන මිලදී ගැනීමකදී පවතින මූල්‍යමය වෙනස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-18

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මුදා හරින ලද නැව් භාණ්ඩ - ආනයනික - තොගය මෙට්‍රික් ටොන්වලින්,

වර්ෂය

එකතුව (මෙට්‍රික් ටොන්)

2022

251,181

2023

300,159

2024

330,696

 

 

 

              (ii)      සමාගමේ සමස්ත ප්‍රසම්පාදන පරිපාටිය ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ පූර්ණ පාලනය යටතේ සිදු වන අතර, අවසාන අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලබා ගනී.

ප්‍රසම්පාදන පරිපාටිය හරහා පිරිනමන ලද සහ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වසර දෙකක කොන්ත්‍රාත්තුව 2020 මාර්තු 01 සිට 2022 පෙබරවාරි 28 දක්වා ක්‍රියාත්මක විය. එම කොන්ත්‍රාත්තුව යටතේ 2022 වසරේ පෙබරවාරි මාසයේ ඇණවුම් කරන ලද ඉතිරි තොගය, 2022 මාර්තු මාසයේදී ලැබිණි.

2022 අප්‍රේල් සිට ජුනි දක්වා, ජාතික ආපදා තත්ත්වය සහ විදේශ විනියම හිඟය හේතුවෙන්, දින 30ක ණය සහන කාල සීමාවක් සහිතව පොරොත්තු ණයවර ලිපියක් - Standby Letter of  Credit - නිකුත් කිරීමට නොහැකි විය. එබැවින්, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙරට ඩොලර් සංචිතයට අනුව එතෙක් පැවති සැපයුම්කරුගෙන්ම මාසික අවම තොගය ලබා ගැනිණි.

2022 මැයි මාසයේදී වර්තමාන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරන ලද අතර, තායිලන්තයේ සියාම් ගෑස් ට්‍රේඩින් පුද්ගලික සමාගම සමඟ මෙට්‍රික් ටොන් එකකට කොන්ත්‍රාත් මිල සහ ධන ඩොලර් 96ක මිලකට ඉදිරියට යාමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, විදේශ විනිමය සීමා සහ ඒ අවස්ථාවේදී පැවැති අර්බුදය හේතුවෙන් ප්‍රසම්පාදන කොන්දේසි යටතේ අවශ්‍ය පරිදි පොරොත්තු ණයවර ලිපි පහසුකම් ලබා දීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට නොහැකි වී තිබෙනවා. ඊට අමතරව සැපයුම්කරු ටෙන්ඩර් අවශ්‍යතාවට අනුකූලව යාත්‍රා විස්තර ද ඉදිරිපත් කර නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත් අත්සන් කිරීම ප්‍රමාද වූ අතර, ගිවිසුම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය යාත්‍රා ඉදිරිපත් කිරීම සඳහා සැපයුම්කරු පොරොත්තු ණයවර ලිපි නිකුත් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටින ලදී. ඒ අනුව 2022 ජූලි සහ දෙසැම්බර් කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි 2022 කොන්ත්‍රාත්තුව අවසන් කර හෝ සක්‍රිය කර නොතිබීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ජුනි මාසයේ මාසිකව මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයකට සැලසුම් ලබා ගැනීමට OQ ට්‍රේඩින් සමාගමටත්, සියාම් ගෑස් ට්‍රේඩින් පුද්ගලික සමාගම කියන සමාගමටත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පාර්ශ්ව දෙකෙන් පමණක් මිලදී ගැනීම් ඉල්ලා සිටිනවා. නමුත්, සැපයුම්කරුට මාසික අවශ්‍යතාව අනුව ලබා දීමට නොහැකි බව සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව, සියාම් ගෑස් ට්‍රේඩින් පුද්ගලික සමාගම  15,000ක් ඉල්ලපු එක වෙනුවට 6,600ක් ඩොලර් 112ක මිලකට දෙන්න පුළුවන් කියලා තිබෙනවා. OQ Trading සමාගම ඩොලර් 129 මිලකට මෙට්‍රික් ටොන් 100,000ක් දෙන්න පුළුවන් කියලා තිබෙනවා. ඒ දෙකම නොගැළෙපනවා වුවත් පැවැති තත්ත්වය සැලකිල්ලට අරගෙන අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බැවින් පවතින අර්බුදකාරි තත්ත්වය සහ නිෂ්පාදනය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු බලධාරින් වෙත එය යොමු කර තිබෙනවා.

ඒ අනුව ජුනි 08වන දින ඉහත ප්‍රසම්පාදන ප්‍රදානය කිරීම සඳහා Siam Gas Trading Pte. Limited  තෝරා ගෙන ඇතත් එය තවමත් විධිමත් ලෙස ප්‍රදානය කර නොමැති බවත් රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් කොන්ත්‍රාත්තුව නියමයන් හා කොන්දේසි අනුව ශ්‍රී ලංකා රජයට ස්ථාවර ණයවර ලිපියක් නිකුත් කිරීමට හැකියාව නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට ඒ සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට නොහැකි බවත්, ඉහත ප්‍රසම්පාදනය අවලංගු කිරීමට කල් දැමූ ගෙවීම් නැවත නැව්ගත කිරීම මඟින් ගෙවීම සහ ශ්‍රි ලංකා රුපියල්වලින් ගෙවීම ඇතුළු කළමනාකරණය කර ගත හැකි ගෙවීම් නියමයන් සහිතව නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් දියත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සුදුසු බව සඳහන් කරලා කැබිනට් අනු කාරක කමිටුවකට යොමු කරලා තිබෙනවා. ඒ අනුව, 2022 ජුනි 14 වන දින කැබිනට් තීරණයේ, විශේෂයෙන්ම ජුනි 08වන දින කැබිනට් සන්දේශයේ සඳහන් කරලා තිබෙනවා, "කළමනාකරණය කළ හැකි ගෙවීම් විකල්ප සමඟ පවතින කාලීන ටෙන්ඩරය අවසන් කළ හැකි වන තෙක් 'එල්පී ගෑස්' සැපයීම අඛණ්ඩව සහතික කිරීම සඳහා පහත සඳහන් පියවර සලකා බලන්න" කියලා.

ඒ අනුව, OQ Trading සමාගමට මෙට්‍රික්ටොන් ලක්ෂයක් දීලා තිබෙනවා, ඩොලර් 129 යටතේ.

2023 ජනවාරි සහ දෙසැම්බර් ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් පවත්වන ලද අතර, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අවසන් අනුමැතියට අනුකූලව මෙට්‍රික්ටොන් එකකට කොන්ත්‍රාත් මිල සහ ඩොලර් 118.68ක මිලකට OQ ට්‍රේඩින් සමාගමට දීලා තිබෙනවා. 2024 ජනවාරි සිට 2025 දක්වා රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් 2023 කොන්ත්‍රාත්තුව මාස 6ක කාලයක් සඳහා දෙවරක් දීර්ඝ කරන ලද අතර, ඒ යටතේ ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය යටතේ තබාගෙන තිබෙනවා. ඒ නිසා එම ඒකකයේ නියෝගය මත පදනම්ව මෙම දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් සිදු කළ අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව රජයේ ප්‍රසම්පාදන මාර්ගවලට අනුව මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 118.18ක මිලකට නැවතත් OQ Trading   සමාගමට දීලා තිබෙනවා. 2026 ජනවාරි සිට දෙසැම්බර් වෙනකොට ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලිය පවත්වන ලද අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් පසු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 137ක මිලකට Geogas Trading SA සමාගමට ලබා දී තිබෙනවා.

(iii) පසුගිය සෑම වසරකදීම එල්පී ගෑස් පිළිබඳ ප්‍රසම්පාදන කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ පිළිබඳ අවසාන බලය ඇත්තේ කැබිනට් මණ්ඩලයටය.

(iv) ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සඳහන් කර තිබෙනවා. හදිසි ප්‍රසම්පාදන පටිපාටිය ය‍ටතේ සමාගම මිලදී ගැනීම් සිදු කර නැහැ.

(v) අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks