01

E   |     |  

 දිනය: 2025-06-18   පිළිතුර ලබා දී ඇත 

0792/2025: පවතින මාර්ග බලපත්‍ර මත නව බස් රථ යෙදවීම: හිඟ මුදල් අය කිරීම

792/2025

ගරු සුජීව දිසානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර තිබූ කාලසීමාව තුළදී, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී බස්රථ හිමියන්ගේ ධාවනයට නුසුදුසු බස්රථ විකිණීමෙන් පසු, නව බස්රථයක් මිල දී ගැනීමට බස්රථ ආනයනය ආරම්භ කරනතුරු සිටීමට සිදු වූ බවත්;

(ii) ඉහත කාලසී‍මාවේදී, එම බස්රථ හිමියන් විසින් ධාවන බලපත්‍ර කොමිෂන් සභාවට භාර දී තිබූ බවත්;

 (iii) බස්රථ ආනයනය ආරම්භ කිරීමෙන් පසු නව බස්රථ ‍ධාවනයට යෙදවීමේදී, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ‘චාට් ශීට්’ නිකුත් කිරීමට ධාවනය නොකළ කාලසීමාව සඳහා ද හිඟ මුදල් අය කරන බවත්;

 (iv) බස්රථ ආනයනය නතර කර තිබූ කාලයේදී, බස්රථ මිලදී ගැනීමට නොහැකි වීමෙන් නව බස්රථ ධාවනයට යෙදවීමට නොහැකි වූ  බවත්;

  (v) එබැවින්, බස්රථ සඳහා ‘චාට් ශීට්’ නිකුත් කිරීමේදී, ධාවනය නොකළ කාලසීමාව සඳහා හිඟ මුදල් අය කිරීම අසාධාරණයක් බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-18

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර තිබූ කාල සීමාව තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී බස් රථ හිමියන්ගේ ධාවනයට නුසුදුසු බස් රථ විකිණීමෙන් පසු නව බස් රථයක් මිල දී ගැනීමට බස් රථ ආනයනය ආරම්භ කරන තුරු සිටීමට සිදු වූ බව පිළිගනිමි.

              (ii)      අදාළ කාල සීමාවේදී ධාවන බලපත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාර දීමට බොහෝ අවසර පත්‍ර හිමිකරුවන් කටයුතු කර ඇත.

(iii) අවසර පත්‍ර සඳහා නව බස් රථ ආදේශ කරන අවස්ථාවලදී අවසර පත්‍ර පොත හා ලේබලය කාර්යාලයේ රඳවා තිබූ කාල සීමාව තුළ ගෙවීමට නියමිත ලොග් පත්‍ර ගාස්තු නිදහස් කරන ලෙසට අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලවලට ලිඛිතව දැනුම් දීමට කටයුතු කර ඇත. එසේ වුවද, ඇතැම් අවස්ථාවලදී එම ලොග් පත්‍ර ගාස්තු නිදහස් නොකළ බවට අවසර පත්‍ර හිමිකරුවන් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත දැනුම් දීමට කටයුතු කර තිබේ. ‍එවැනි අවස්ථාවලදී නැවත වරක් අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් දැනුවත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

(iv) බස් රථ ආනයනය නතර කර තිබීම හේතුවෙන් අවසර පත්‍ර සඳහා නව බස් රථ ආදේශ කිරීමට නොහැකිව තිබුණි.

(v) ඔව්. ධාවනය නොකළ කාල සීමාව සඳහා හිඟ මුදල් අය කිරීම අසාධාරණයක් බව පිළිගනිමි. ඒ නිසාම මෙලෙස බස් රථ ධාවනය නොකළ කාල සීමාව තහවුරු කර ගැනීමෙන් පසුව ධාවනය නොවූ කාල සීමාව සඳහා ‍ලොග් පත්‍ර ගාස්තු අය කිරීම සාධාරණ නොවන බැවින්, කලින් පිළිතුරේ සඳහන් කළ පරිදි එම මුදල් අය නොකරන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වෙත දැනුම් දී තිබේ.

(ආ) ඔව්. අදාළ ගාස්තු නිදහස් කරන ලෙසට අවශ්‍යතාව අනුව පළාත් ප්‍රවාහන අධිකාරීන් යළිත් දැනුවත් කිරීමට කටයුතු කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks