පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් ඇතිවූ බව දන්නේද;
(ii) එසේ නම්, එම රැකියා අවස්ථා ලබාදීම විධිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) අදාළ රැකියා අවස්ථා ලබාදීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-07
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) E-8 වීසා කාණ්ඩයට අදාළව ගත්තොත්, මීට කලින් E-8 රැකියා සඳහා ගිවිසුම් අත්සන් කිරීමට අදාළව අපේ කැබිනට් මණ්ඩලයෙන්, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවෙන්, එහෙමත් නැත්නම් මේකට අදාළ කරන විශේෂයෙන්ම විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය ඇතුළු කිසිම ආයතනයක් විසින් කිසිසේත්ම අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ කියන්නේ, E-8 ගිවිසුම් අත්සන් කිරීමට අදාළව අනුමැතියක් ලබා දීලා නැහැ. ඒකට අදාළව ගත්තෙත්, බලපත්‍ර අංක 3625 හිමි Sejong World (Pvt.) Limited කියන රැකියා නියෝජිත ආයතනයටයි. මේ බලපත්‍ර අංකයට අදාළ බලපත්‍රලාභියා විසින් මුදල් එකතු කර තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත්, රුපියල් මිලියන 71.07ක මුදලක් තමයි එකතු කරලා තිබෙන්නේ. ඒකට අදාළව යම් කිසි නඩුවකුත් තිබෙනවා. ඒ හරහා පුද්ගලයන් කිහිපදෙනෙකු ගුවන් තොටුපළෙන් දකුණු කොරියාවට යන්න සූදානම් වනකොට ඒ අයව අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ නඩුවකුත් යනවා. අපි දන්නවා, පසුගිය කාල වකවානුව තුළ මේකට අදාළව හිටපු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යම් කිසි කටයුත්තක් සිද්ධ වෙලා තිබුණු බව. ඒකට අදාළ කරන විවිධ විමර්ශන මේ මොහොත වනකොටත් පවත්වාගෙන යනවා.
(ii) දැනට මේ සියලු කටයුතු අපි නීත්‍යනුකූලව කර තිබෙනවා. විශේෂයෙන්ම මීට කලින් අවිධිමත් ආකාරයෙන් කටයුතු කරගෙන ගිය E-8 වීසා කාණ්ඩය සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශය මැදිහත් වෙමින්, අපේ තානාපති කාර්යාල මැදිහත් වෙමින්, ඒ වාගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය අරගෙන දැනට අපි Yeongwol කියන ප්‍රාන්තය එක්ක ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම් ප්‍රකාරව පිරිසක් දැනට දකුණු කොරියාවට ගිහිල්ලා තිබෙනවා. ඒ වාගේම Yeosu, Seocheon, Gimcheon, Namwon කියන ප්‍රාන්ත එක්කත් මේ මොහොත වනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නවා, මේ අවස්ථාව ලබා ගන්න.
(iii) අපගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම කියන ආයතනය මඟින් තමයි මේ සියලු කටයුතු අපි කරගෙන යන්නේ.
විශේෂයෙන්ම ඒ අයදුම්කරුවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනෑ. ඒ වාගේම අවුරුදු 25 - 45 අතර වයස් සීමාව තුළ ඉන්න ඕනෑ. ඉතාම හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයක් තිබෙන්නත් ඕනෑ.
ගරු මන්ත්‍රීතුමනි, මේ E-8 කියන කාණ්ඩයට seasonal jobs කියලා කියන්නේ. Seasonal jobsවලට අදාළව මාස පහ සිට අට දක්වා තමයි වීසා ලබා දෙන්නේ. විශේෂයෙන්ම කෘෂි කර්මාන්ත, ධීවර වාගේ ක්ෂේත්‍රවලට අදාළව තමයි රැකියා ලබා දෙන්නේ. ඒ අදාළ අයදුම්කරුවාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ග්‍රාම නිලධාරි විසින් ගොවියෙකු විධියට යම්කිසි සහතිකයක් ලබා දෙන්න ඕනෑ. ධීවර කටයුතුවලට සම්බන්ධ කෙනෙක් නම් ධීවර හැඳුනුම්පත් ඇතුළු අවශ්‍ය documents අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ වාගේම තමයි මේකට අදාළ කරන පුහුණු කටයුතුත් අපි නිසි පරිදි, හරි විධියට කරගෙන යනවා.
අපි Yeongwol කියන ප්‍රාන්තයත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. Yeongwol ප්‍රාන්තයත් එක්ක ගිවිසුම් අත්සන් කළේ අපේ රටේ ඌව සහ මධ්‍යම පළාත්වලට අයත් කට්ටිය කොරියාවට යවන්න. ඒකට අදාළ කරන සියලුම පටිපාටි අපේ Sri Lanka Foreign Employment Agency එකේ www.slfea.lk කියන වෙබ් අඩවිය මඟින් දැන ගන්න පුළුවන්. ඒ අයදුම්කරුවන් තමන්ගේ නම website එකට ඇතුළත් කරන්න ඕනෑ. ඒ විධියට තමයි සම්පූර්ණ ක්‍රමවේදය අනුගමනය කරන්න තිබෙන්නේ. මෙතැනදී අපි සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඒ වාගේම ඒ අදාළ කාණ්ඩය යවන්න කලින් ඒ අයට අවශ්‍ය කරන නේවාසික පුහුණුව සහිතව අපි ඒ අවශ්‍ය ක්‍රමවේදය අනුගමනය කර තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks