පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
737/2025
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට කොළඹ වරායේ බහාලුම් නිදහස් කර ගැනීමේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන බවත්;
(ii) එම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමුද්‍රීය සැපයුම් සමාගම් සහ වාණිජ මණ්ඩල විසින් ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කර තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සැලැස්මේ ඇති යෝජනා කවරේද;
(ii) එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බහලුම් නිදහස් කිරීම යනුවෙන් සඳහන් කෙරෙනුයේ, කොළඹ වරායෙන් ආනයන බහලුම් නිදහස් කිරීමයි. දැනට ආනයන බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් තදබදයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් නොමැත. කෙසේ වුවද, සියලුම පර්යන්තවල ප්‍රතිඅපනයන බහලුම් ධාරිතාව ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදු වීම හේතුකොටගෙන ප්‍රතිඅපනයන බහලුම් පර්යන්ත අතර ප්‍රවාහනය - inter-terminal trucking - සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟී ඇත.
(ii) වාණිජ මණ්ඩලය විසින් ප්‍රධාන පෙළේ සමුද්‍රීය සැපයුම් සමාගම් හා එක්ව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත යවන ලද නිවේදනය මඟින් නැව් භාණ්ඩ නිෂ්කාසනයේදී දක්නට ලැබෙන අකාර්යක්ෂමතාව පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇති අතර පහත දැක්වෙන කරුණු ඇතුළත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ගරු කථානායකතුමනි, මේ සියල්ලම රේගුව මඟින් සිදු කරන දේවල්. මම පිළිතුරු ලබා දෙන්නේ මේක ඒකාබද්ධ ක්‍රියාවලියක් නිසා පමණයි.
මෙම නිර්දේශ අගය කිරීමෙන් යුතුව සැලකිල්ලට ගනු ලබන අතරම, මෙම අභියෝග තීරණාත්මකව ජය ගැනීම සඳහා රජය විසින් සහ අනෙකුත් නියෝජිතායතන - port community - විසින් මේ වනවිටත් ප්‍රමාණවත් පියවර ගෙන ඇති බව මෙම සභාවේ වාර්තාගත කිරීම සඳහා අවධාරණය කළ යුතුව ඇත. එම පියවර මෙසේයි.
1. කඩිනම් නිෂ්කාසන කමිටුව - Speedy Clearance Committee - නැවත සක්‍රිය කිරීම.
මෙය අපේ Cabinet Subcommittee එකෙන් ගිය අවුරුද්දේ ආරම්භ කළා.
2. Scanning and screening systems ශක්තිමත් කිරීම.
එහිදී නියමිත කාල සීමාව ඉක්මවා පරිලෝකන කටයුතු සිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර දවසේ පැය 24ම ආවරණය වන පරිදි සේවයට අනුගත වීමේ ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. භාණ්ඩ එකවර නිෂ්කාසනය කිරීමට සහ පරීක්ෂා කිරීම් දෙවරක් සිදු වීම අවම කිරීමට හැකි වන පරිදි දත්ත හවුලේ පරිහරණය කිරීමේ කාර්යයෙහි නිරතවීමට නියෝජිතායතනය උපරිම මට්ටමින් කටයුතු කරමින් සිටී.
3. Green Channel එක පුළුල් කිරීම.
රේගුව විසින් ආනයනකරුවන්ගේ තොරතුරු හඳුනා ගැනීම් සිදු කර ඇති අතර එමඟින් අඩු අවදානම් සහිත නැව් භාණ්ඩ සඳහා Green Channel එක පුළුල් කර ඇත. මෙම වැඩ පිළිවෙළ මඟින් නිෂ්කාසන තදබදය අඩු වී ඇති අතර විශ්වාසවන්ත වෙළෙඳ නැව් සඳහා කඩිනම් නිෂ්කාසනයේ ප්‍රතිලාභ අත් විඳීමට හැකියාව ලැබේ.
4. RCT පර්යන්තවල ධාරිතාව ඉහළ නැංවීම.
මේවා බහුතරයක් පසුගිය කාලය තුළ පෞද්ගලික අංශයට පවරා තිබෙන දේවල්, ගරු කථානායකතුමනි. එම නිසා ඒවායේ සිදු වෙලා තිබෙන ගැටලු මේවායි. අතපසු වීමෙන් එක්රැස් වූ වැඩ නිරවුල් කිරීම පහසු කිරීම සඳහා අතිරේක කාර්ය මණ්ඩල යෙදවීම. සරලව ගත්තොත් මේ තැන්වල සිටිය යුතු සේවක සංඛ්‍යාව නොසිටීමත් විශාල ගැටලුවක්. මේවා අතීතයේදී පෞද්ගලීකරණය කරපු දේවල්. මෙහෙයුම් පැය ගණන දීර්ඝ කිරීම හා පරීක්ෂා කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම ක්‍රියාත්මකව ඇත.
මෙම මැදිහත්වීම්වල ප්‍රතිඵල මේ වනවිටත් නැව් භාණ්ඩ නිෂ්කාසනය වඩා ඉක්මනින් සිදු කිරීමට දායක වී ඇත.
5. අධීක්ෂණය හා වගවීම.
ගරු කථානායකතුමනි, මෙම පිළිතුර සම්පූර්ණ වීම සඳහා මේ කාරණය මා සඳහන් කළ යුතුයි. මෙම නැව් භාණ්ඩ නිදහස් කර ගැනීම හුදෙක්ම රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ කරුණක් නොවන අතර, සාමූහික වගකීමක් වේ. මේ වන තෙක් අත්කර ගත් ප්‍රගතිය අපි නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බව පෙන්නුම් කරන අතර, අඛණ්ඩතාවෙන් හා සංයමයකින් යුතුව කටයුතු කිරීම මඟින් මෙම අභියෝග ජය ගත හැක.
ගරු කථානායකතුමනි, රජයට පරිබාහිර ආයතනවලින් මේ සම්බන්ධව ගැටලු රාශියක් තිබෙනවා. අවශ්‍ය නම් ඒවා මට ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන්.
(ආ) (i) කලින් පිළිතුරට අදාළව එම යෝජනා තමයි ඉදිරිපත් කළේ.
(ii) කාර්යක්ෂමතාව හා පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඉහළ නැංවීම පිණිස පසුබෑම් පිටු දැකීමට ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, අපි මේ පිළිබඳව Cabinet Subcommittee එකේදී recommendations ගණනාවක් නිකුත් කරලා, ඒවා ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම ඉන් කිහිපයක් කියන්නම්.
එකක් තමයි, ITT - Inter-terminal Trucking - කිරීම එක සමාගමක් අතේ තමයි වැඩිපුර තිබුණේ. එම නිසා අපි ඒක තව සමාගම් කිහිපයකට ගන්න කියලා යෝජනා කළා. එය එක්කෙනෙකුට සම්පූර්ණයෙන් පාලනය කරන්න තිබුණු ඉඩකඩ දැනට නැති කරලා තිබෙනවා.
දෙවැනි එක, other government agenciesවල, ඒ කියන්නේ Health Ministry, Quarantine Unit හා ප්‍රමිති ආයතනය වාගේ ආයතනවල containers දවස් ගණන් පරීක්ෂා කළ යුතු වනවා.
එතකොට ඒවායෙන් වරාය ඇතුළේ තදබදයක් ඇති වෙන එක වළක්වන්න අපි වරායට අයිති බ්ලූමැන්ඩල්වල වෙනම Customs inspection bay එකක් එක්ක හදලා තිබෙනවා, මේ අවුරුද්දේ පෙබරවාරි, මාර්තු වනකොට. නමුත්, ඒක තවම Sri Lanka Customs එකෙන් ප්‍රයෝජනයට අරගෙන නැහැ, ඔවුන්ට අනවශ්‍ය නිසා. ඒ, ඔවුන්ට දැනට ඒක අවශ්‍ය නැති නිසා වෙන්න පුළුවන්. නමුත්, ගැටලුවක් ඇති වුණොත් එය පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වාගේම dashboard එකක් තිබුණේ නැහැ, වරායේ වෙන්නේ මොකක්ද කියලා. අපි dashboard එකක් හදලා එය මේ වනකොට ක්‍රියාත්මක වෙනවා. ගරු කථානායකතුමනි, ඒ වාගේම පෞද්ගලික අංශය විසිනුත් දින තුනක්ම clearance කරන්නේ නැති බව ඔබතුමා දන්නවා. ඒක වෙනස් කරන්න අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා. ඒවා පෞද්ගලික ආයතනවලින් හදා ගෙන තිබෙන සම්ප්‍රදායයන්. සෙනසුරාදා සහ ඉරිදා බැංකු කටයුතු කෙරෙන්නේ නැහැ කියන ප්‍රශ්නයත් තිබෙනවා. අපි ඒවාටත් නියෝග පනවලා තිබෙනවා. නමුත්, ඒ සියල්ල අතරේ පෞද්ගලික අංශයේ ඒවාත් තිබෙනවා. ඒ වාගේම සමහර සමාගම්වලින් සිකුරාදා clear කරන කන්ටේනර් එළියට ගෙනියන්නේ නැහැ. ඒවා වරාය ඇතුළේ නතර කරගෙන ඉන්නවා. ඒකත් එක හේතුවක්. වරාය park එකක් වෙලා තිබෙනවා, සමහර කොම්පැනිවලට. ඒගොල්ලන්ට අපි පෑලියගොඩ ඉඩමක් වෙන් කරලා දුන්නා. නමුත්, ඒවාට එන්නේ නැහැ.
පෞද්ගලික අංශය හරියාකාරව ප්‍රමිතියෙන් කටයුතු නොකිරීමත්, දිගු කාලයක් තිස්සේ වරායේ තිබෙන සමහර අඩුපාඩුත් ඒ සඳහා බලපා තිබෙනවා. විශේෂයෙන්ම වංචා සහ දූෂණ නිසා වරාය නැඟෙනහිර පර්යන්තය නිසි කාලයට -2023 වෙනකොට- හදලා අවසන් කරන්න බැරි වුණා. ඒකත් මේ තත්ත්වයට බලපා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඉතින්, මෙහෙම කාරණා ටිකක් තමයි තිබෙන්නේ. රේගුවේ digitalization තවම අවසන් වෙලා නැති එකත් මේකට බාධා වෙලා තිබෙනවා. ඒ නිසා ඒවාට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සමහර ඒවා පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම Health Ministry එකේ ඒ අවශ්‍ය කරන නිලධාරින් ඉන්නේ නැහැ, රෑ 9.00න් පස්සේ check කරන්න. ඒ quarantine units හැම එකටම අපි මහන්සි වෙලා අවශ්‍ය කරන නිලධාරින් පසුගිය මැයි, ජූනි වෙනකොට බඳවා දුන්නා. ඒ නිසා යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. නමුත්, පොදුවේ Red Sea එකේ තිබෙන ප්‍රශ්නත්, මැද පෙරදිග කලාපයේ තිබෙන ප්‍රශ්නත් නිසා අපිට එන flow එක වැඩිවෙලා තිබෙනවා. ඒකත් අමතර හේතුවක්. පොදුවේ ගත්තොත්, මේ ඔක්කොම කාරණා එකතු වෙලා ප්‍රශ්නයක් තිබුණා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳිලාත් නැහැ. ඒක නැවත ඇති වෙන්න පුළුවන්; Specially, December or Januaryවල එන්න පුළුවන්. ඒ නිසා අපි දැනට plan කරගෙන යනවා, ඒකට මුහුණ දෙන්න.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks