02

E   |     |  

 දිනය: 2013-06-21   පිළිතුර ලබා දී ඇත 

2707/2013: සහකාර ප්‍රාදේශීය කළමනාකාර තනතුර : රාජ්‍ය දැව සංස්ථාව

2707/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2012 වර්ෂයට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර තනතුර සඳහා, සේවයේ නියුතු වැඩ බිම් නිලධාරී සහ ගබඩා නිලධාරී තනතුරු දරන අය අතරින් තරඟ විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසුකම්ලත් අය තෝරාගත් බවත්;

  (ii)  2012 වර්ෂයේ සිට එම තරඟ විභාගය නොපවත්වා සම්මුඛ පරීක්ෂණයෙන් පමණක් ඉහත තනතුර සඳහා පත්කිරීම් කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)    ඉහත අ(ii)හි සඳහන් පරිදි කරනු ලබන බඳවා ගැනීම් නවතා 2012 ට පෙර තිබූ ආකාරයට එම බඳවාගැනීම් සිදුකිරීමට  කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම් , ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර තනතුර සඳහා වන අනුමත බඳවා ගැනීමේ පරිපාටියට අනුව ලිඛිත පරීක්ෂණයක ප්‍රතිඵල මත හා/ හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත එම තනතුර සඳහා බඳවාගැනීම කළ හැකිය. ඒ අනුව සංස්ථා පාලනාධිකාරයේ අභිමතය පරිදි ලිඛිත විභාගයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින් හෝ ලිඛිත විභාගයක් නොමැතිව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පමණක් පැවැත්වීමෙන් පහත සඳහන් පරිදි එම තනතුර සඳහා බඳවාගැනීම සිදු කර ඇත.

1981 අ‍ගෝස්තු මස බඳවාගැනීම - විභාගයක් පවත්වා නොමැත.

1987 බඳවාගැනීම - විභාගයක් පවත්වා නොමැත.

1992 බඳවාගැනීම -විභාගයක් පවත්වා ඇත.

1998 ජූලි මස බඳවාගැනීම  - විභාගයක් පවත්වා නොමැත.

2001 මාර්තු මස බඳවාගැනීම - විභාගයක් පවත්වා නොමැත.

2008 ඔක්තෝබර් මස බඳවාගැනීම - විභාගයක් පවත්වා ඇත.

2012 මැයි මස බඳවාගැනීම -විභාගයක් පවත්වා නොමැත.

(ii) 2012 වර්ෂයේ පමණක් ‍නොව ඊට පෙර ඇතැම් වර්ෂවලදී ද තරග විභාගයක් නොපවත්වා සම්මුඛ පරීක්ෂණයක් පමණක් පැවැත්වීම මඟින් බඳවාගැනීම් සිදු කර ඇති බව ඉහත (අ) (i) පිළිතුර අනුව පැහැදිලි වේ. 

(ආ) සහකාර ප්‍රාදේශීය කළමනාකාර තනතුර රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබිම් ආශ්‍රිතව විශ්ෂයෙන් වන වගා ක්ෂේත්‍රයේ ගස් කැපීම් හෝ හෙළීම් හෝ මාර්ගාසන්න කිරීම් හෝ ප්‍රවාහනය කිරීම් හෝ මාර්ග සකස් කිරීම් වැනි ප්‍රායෝගික වූ විශාල කාර්යදාමයක් ඉටු කළ යුතු තනතුරකි. වැඩබිම් නිලධාරින් සහ ගබඩා නිලධාරින් අතරින් අභ්‍යන්තරව එම තනතුර සඳහා බඳවා ගැනීම සිදු කරන අතර එහිදී ඔවුන් ඉටු කරනු ලබන ප්‍රායෝගික ක්‍රියාදාම පරීක්ෂා කර බැලීම ලිඛිත විභාගයක් මඟින් පමණක් ඉටු කර ගත නොහැක. සුළු හෝ ප්‍රායෝගික දැනුමක් නොමැති නිලධාරින් බඳවා ගැනීමෙන් බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදු වනු ඇත.

බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සහකාර ප්‍රාදේශීය කළමනාකාර තනතුරේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සිදු කරනු ලබන අතර අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, රාජ්‍ය දැව සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත් හා පාලන/අළෙවි/මෙහෙයුම්/මුදල්) ඇතුළත් ස්වාධීන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් අයදුම්කරුවන්ගේ සියලුම සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ.

ඉහත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ හා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කරන ලද මෙම පත්කිරීම් සම්බන්ධව මේ වන තුරු කිසිදු සේවක පැමිණිල්ලක් ලිඛිතව හෝ වාචිකව ලැබී නොමැති අතර වෘත්තීය සමිතියකින් හෝ අධිකරණමය මැදිහත් වීමකින් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks