බලන්න

04

E   |     |  

 දිනය: 2025-04-24   පිළිතුර ලබා දී ඇත 

0703/2025: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම: ගත් පියවර

----

අසන ලද දිනය

2025-04-24

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින විද්‍යාව හා තාක්ෂණයට අනුව හැඩගැහෙන ලෝකයේ කාලීන ප්‍රවණතා හඳුනා ගනිමින්, ඊට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව පිළිගනී.

              (ii)      විෂයමාලා සංශෝධන සිදු කිරීම ශ්‍රී ලංකාව තුළ පිළිගත් ක්‍රමවේදය අනුව වසර 08කට වරක් සිදු කෙරේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් යාවත්කාලීන වන ලෝකයට ගැළපෙන පරිදි විෂයමාලා ප්‍රතිසංස්කරණ එලෙස සිදු කිරීම යෝග්‍ය වේ. නමුත් රටේ ආර්ථික, සමාජයීය වාතාවරණයන්ද සලකා බලමින් භෞතික, මානව පහසුකම් ආදිය සංවර්ධනය කරමින්, ආයතනික ව්‍යුහ ප්‍රතිව්‍යුහගත කරමින් සිදු කරන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ආදිය වසර 10කට වරක් පමණ සිදු කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය වේ.

කෙසේ නමුත් විෂයමාලා ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපනයේ අනෙකුත් අංශවලද සිදුවිය යුතු වෙනස්කම් වේ නම්, අවශ්‍යතානුකූලව අදාළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු කාල පරාසය නිර්ණය කිරීම යෝග්‍ය වේ.

(iii) වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මත පැටවී ඇති අධික ඉගෙනුම් පීඩනය අවම කිරීම, ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීම හා නව්‍යකරණය වන ලෝකය සමඟ බද්ධ විය හැකි අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපනයට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට පාසල් පද්ධතියට හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී. ඒ අනුව මෙම විෂය මාලා ප්‍රතිසංස්කරණ මෙන්ම ආයතනික ව්‍යුහයන්ට හා කාර්යයන්ට අදාළ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණද පද්ධතියට ක්‍රමානුකූලව හඳුන්වා දෙනු ඇත. එය වඩාත් ඵලදායීව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඒ එක් එක් අංශයන්ට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙන අතර, අදාළ සැලසුම් සකස් කෙරේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රාමාණික විද්වතුන් බොහෝ දෙනෙකුගෙන් සැදුම්ලත් විවිධ කමිටු හරහා වඩාත් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කරගත හැකි ක්‍රමෝපායයන් සාකච්ඡාවට ලක්වන අතර, දේශීය, විදේශීය නිර්ණායකද අයුරින් ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය අංග නිර්මාණය වෙමින් පවතී.

(iv) විෂය මාලා ප්‍රතිසංස්කරණ යටතේ මේ වන විට භාවිතයේ පවතින පෙළපොත් වෙනුවට වඩාත් යාවත්කාලීනව, සංවර්ධනය කරන ලද මොඩියුලර් ක්‍රමවේදය හඳුන්වා දීමට අපේක්ෂිතය. පාසල්වල ප්‍රාථමික - 1 සිට 5 -, කනිෂ්ඨ ද්විතීයික  - 6 සිට 9 - හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික - 10 සිට 13 - ශ්‍රේණි සඳහා වඩාත් නම්‍යශීලි හා ප්‍රායෝගික විෂය සැලැස්මක්ද හඳුන්වා දෙනු ලැබේ. ඒ යටතේ ස්වකීය අභිමතය හා දක්ෂතාව මත ශිෂ්‍යයන්ට නව ඉගෙනුම් ක්‍රියාවලියකට මාර්ගය සකසා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර, 9 වන ශ්‍රේණියෙන් පසු වෘත්තීය/ශාස්ත්‍රීය අධ්‍යාපන අංශයට ශිෂ්‍යයන්ට ප්‍රවේශ විය හැකි මාර්ගය සකසා දීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විධිමත් සැලැස්මක් මේ වන විට සකස් කෙරෙමින් පවතී. අදාළ විෂය මාලාවේ සංශෝධනයන්ට අනුකූල වන පරිදි ඇගැයීම් ක්‍රියාවලියද ප්‍රතිසංස්කරණයන්ට ලක් කෙරෙන අතර, ලිඛිත පරීක්ෂණ/විභාග හේතුවෙන් පීඩනයට ලක් වන ශිෂ්‍යයන් ඉන් මුදාගත හැකි හා වර්තමාන සංවර්ධිත ලෝකයට හා දේශීය ඉලක්කයන්ට ළඟා විය හැකි ශිෂ්‍ය පරපුරක් නිර්මාණය කළ හැකි ආකාරයේ ඇගැයීම් ක්‍රමවේද සකස් කෙරේ. එම ක්‍රියාදාම සාර්ථකව පද්ධතිය තුළ දියත් කිරීමට අවශ්‍ය මානව, භෞතික, මූල්‍ය හා අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය හා සංවර්ධනයද ඊට සමගාමීව සිදු කෙරේ.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks