E   |     |  

 දිනය: 2025-11-20   පිළිතුර ලබා දී ඇත 

0680/2025: නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය: පාරිසරික ගැටලු

680/2025

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      නොරොචෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය හේතුවෙන් ඒ අවට ගම්මානවල පදිංචි වී සිටින ජනතාව පාරිසරික ගැටලු රාශියකට මුහුණදී සිටින බව දන්නේද;

             (ii)      එම පාරිසරික ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-20

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය හේතුවෙන් සිදු වන පාරිසරික ගැටලු සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් මෑතකදී වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත වාර්තා වී නොමැති බව එම අධිකාරිය විසින් දැනුම් දී ඇත.

              (ii)      නොරොච්චෝලේ පිහිටි ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන ඇති වන පාරිසරික ගැටලු පාලනය කර සම්මත ප්‍රමිති හා උපමාන යටතේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කරනු ලබන අතර, එකී බලපත්‍රයේ කොන්දේසි ප්‍රකාරව කර්මාන්තකරු කටයුතු කරන්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා පසු විපරම් කටයුතු සිදු කිරීමත්, අදාළ විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමත් සිදු කරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණයන්ට අනුව ඉහත සඳහන් කර්මාන්තය සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කර ඇති බැවින්, මෙම ගල් අඟුරු බලාගාරය හේතුවෙන් පාරිසරික ගැටලු ඇති වේ නම් එම ගැටලු පාලනය කිරීමේ නෛතික බලය පැවරී ඇත්තේ වයඹ පළාත් පරිසර අධිකාරිය වෙතය.

එබැවින්, එම පාරිසරික ගැටලු විසඳීම සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් පහත පරිදි ක්‍රියාත්මක වේ.

තාප විදුලි බලාගාර ක්‍රියාකාරීත්වයේදී ජනනය වන දූෂකාරක හේතුවෙන් සංසරණ වායු තත්ත්වය, භූගත ජලයේ තත්ත්වය හා සමුද්‍ර පරිසරයට වන පාරිසරික බලපෑම අධ්‍යයනය සඳහා විශේෂඥ කමිටුවක් - expert panel එකක් - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ස්ථාපනය කෙරිණි. ඒ අනුව අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට - MoU එකට - අනුව;

  • සුළං බාධක - wind barriers - ස්ථාපනය කරන ලදී.
  • භෞතික ජෛවීය හා සමාජයීය බලපෑම අධ්‍යයනයට ඒ සඳහා වූ විශේෂඥ කමිටුවක් පත්කොට මාස 06කට වරක් කමිටුව රැස් වී ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීම.
  • සංසරණ වායු තත්ත්වය නිරීක්ෂණය සඳහා ස්ථාවර වායු තත්ත්ව අධීක්ෂණ ඒකක ස්ථානගත කිරීමට - installation of permanent ambient air quality monitoring stations - කටයුතු කර ඇත.
  • දැනට බාහිර පරිසරයට මුක්ත වන අළු පාලනය කිරීම සඳහා ස්ථිති විද්‍යුත් අවක්ෂේපකය - Electrostatic Precipitator - සහ SO2 වායුව පාලය කිරීම සඳහා විමෝචක වායු ගෙන්දගම් වියුක්තකය උපකරණ - flue-gas desulfurizer - සවි කර ඇති අතර, මනා පාලනයකින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇත.න
  • ජල සම්පත් මණ්ඩලය මඟින් භූගත ජලයේ ගුණාත්මක තත්ත්වය සම්බන්ධව අධ්‍යයනය කරයි.
  • NARA ආයතනය මඟින් ජලජ ජීවීන්ට සිදු වන බලපෑම අධ්‍යයනය කරයි.
  • MEPA එක මඟින් සමුද්‍ර පරිසරයට ඇති වන බලපෑම අධ්‍යයනය කරයි.
  • භූගත ජලයේ ගුණාත්මකභාවය, කුළුණු විමෝචන තත්ත්වය, සංසරණ වායු තත්ත්වය, පලායිත අවලංභිත අංශු, ශබ්ද මට්ටම් සහ පිරිපහදු කරන ලද කාර්මික අපසන්දන තත්ත්වය පිළිගත් ආයතනයකින් පරීක්ෂා කර ඇති අතර, එම තත්ත්වයන් අදාළ ප්‍රමිතීන් තුළ පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks