පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. කොළඹ 03, ගෝල්ෆේස් ටෙරස්, අංක 25 දරන ලිපිනයේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සතුව පර්චස් 28.62ක ඉඩමේ මහල් 5කින් යුත් වර්ග අඩි 24,800ක ගොඩනැඟිල්ලක් පවතියි.
(ii) අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට යාබද කොළඹ 03, ගෝල්ෆේස් ටෙරස්, උත්තරානන්ද මාවත දරන ලිපිනයැති අංක 27, 27A, 27B යන ඉඩම් කොටස්හි රේණුකා හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධිත ගෝල්ෆේස් ප්‍රොපටීස් ආයතනය විසින් මහල් 32කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කරන අතරතුරදී එහි බලපෑමක් හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැඟිල්ල ඉරිතැළීමට හා ගොඩනැඟිල්ලේ කොටසක් ගිලා බැසීමට ලක් වී ඇත.
ගොඩනැඟිල්ල ඉරිතැළීම් හා ගිලාබැසීම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දුන් වාර්තා ඇමුණුම 01, 02 සහ 03 වශයෙන් පහත පරිදි ඉදිරිපත් කරමි.
එම වාර්තාවේ ඇතුළත් වූ කරුණු -
• අදාළ වාර්තාව මඟින් තාවකාලිකව එම ගොඩනැඟිල්ලෙන් ඉවත් වන ලෙස නිර්දේශ කර ඇත.
• කොන්ත්‍රාත් ආයතනය වෙත අදාළ ගොඩනැඟිල්ල පරීක්ෂා කර විස්තරාත්මක වාර්තාවක් NBRO එක වෙත ලබා දෙන ලෙස දන්වා ඇත.
• අදාළ වාර්තාව මඟින් යෝජනා කරනු ලබන ගොඩනැඟිල්ල යථාවත් කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ප්‍රථම NBRO එකේ අනුමැතිය ලබා ගත යුතු බව.
එම වාර්තාවේ ඇතුළත් වූ කරුණු -
ගොඩනැඟිල්ලේ පලුදුවීම් පිළිසකර කිරීම සඳහා තීරණයක් ගැනීමට කොන්ත්‍රාත් සමාගම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ව්‍යුහාත්මක අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා දිය යුතු බව දන්වා ඇත.
(iii) නඩු පවරා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් 2022.05.23 දිනැතිව කොළඹ දිසා අධිකරණ අංක 01හි DSP 228/2022 අංකය යටතේ නඩු පවරා ඇත. නඩුකරයේ 01 වන හා 02 වන විත්තිකරුවන් ලෙස පිළිවෙළින් රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනය සහ ගෝල්ෆේස් ප්‍රොපටීස් ලිමිටඩ් ආයතනය නම් කර ඇත.
අධිකාරියේ පැරණි ගොඩනැඟිල්ල පරීක්ෂා කර එම ගොඩනැඟිල්ලට සිදුව ඇති සම්පූර්ණ හානිය නිර්ණය කර තක්සේරු කිරීම, එකී ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය යථාවත් කර එම ගොඩනැඟිල්ල තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට පත් කළ හැකිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා 2024.01.18 දිනැතිව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත අධිකාරි පත්‍රයක් නිකුත් කරන ලද අතර, 2024.08.02 දිනැතිව අදාළ වාර්තාව එම කාර්යාංශය විසින් ගරු අධිකරණය වෙත ගොනු කර ඇත. එම වාර්තාව ඇමුණුම 04 මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
ගරු කථානායකතුමනි, කෙටියෙන් කිව්වොත්, මෙතැන තිබෙන ප්‍රශ්නය මේකයි. මෙම හානිය යථාවත් කිරීමට ඒ කාලයේ හැටියට ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් 6,770,037.60යි. ඒ අනුව, ගොඩනැඟිල්ල වාසය සඳහා යථාවත් කර ගැනීමට යන වියදම අගය මත වැඩි කළ බද්ද සමඟ රුපියල් 14,252,383.38ක් ලෙස තමයි ඇස්තමේන්තු කරලා තිබෙන්නේ.
ගරු කථානායකතුමනි, අපේ ආණ්ඩුව ආවාට පස්සේ අපි දැක්කා, ඒ තිබෙන වාණිජ වටිනාකමත් එක්ක ගන්න කොට මේක ඒ තරම් පිළිගන්න පුළුවන් ඇස්තමේන්තුවක් නොවෙයි කියන එක. ඒ කාලයේ ඉඳලා තිබෙන්නේ ළඟදී අභාවප්‍රාප්ත වෙච්ච ලොහාන් රත්වත්තේ හිටපු රාජ්‍ය ඇමතිතුමා. එතුමා ඉන්න කාලයේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තිබෙන්නේ.
2021දී CECB ආයතනය දැනුවත් කරලා තිබෙනවා. එකී ලිපිය ඇමුණුම 05 මඟින් දක්වා ඇත. නැවත අපි 2025.04.11 දිනැති ලිපියකින් CECB ආයතනයෙන් මේ සම්බන්ධ වාර්තාවක් ඉල්ලා තිබෙනවා. එකී ලිපිය ඇමුණුම 06 මඟින් දක්වා ඇත.
ඒ වාර්තාවේ දක්වා ඇති ඇස්තමේන්තුව සමඟ එකඟ නොවන බව අධිකරණයට අපි කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා ජනාධිපති නීතිඥ මහත්මයෙකුගේ උපදෙස් මත නඩුවේ ඉදිරි දිනය වන 2025.09.10 වන දින ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.
(ආ) නැහැ. එහෙම තීරණයක් අපි අරගෙන නැහැ. නඩුව සමථයකට පත් කර අදාළ ගොඩනැඟිල්ල සහ ඉඩම රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයට විකිණීමට කිසිදු තීරණයක් ගෙන නොමැත.
(ඇ) අධිකාරියේ වර්තමාන කාර්යාලයේ -දැනට අපි ඉන්න කාර්යාලයේ- කටයුතු කුලී පදනම මත පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යන්නේ. මට මතක විධියට, ඒකට රුපියල් මිලියන පහක් විතර මාසයකට ගෙවනවා. ඒ සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙම පැරණි කාර්යාල ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරන්නේද, පවතින ගොඩනැඟිල්ල කඩා බිඳ දමා නව ගොඩනැඟිල්ලක් ඉදි කරන්නේද, නැතහොත් අදාළ ගොඩනැඟිල්ල විකුණා නව ගොඩනැඟිල්ලක් මිලදී ගන්නේද යන්න සම්බන්ධයෙන් විමසීමේදී එම දේපළ රුපියල් මිලියන 415.25ක මිලට ලබා ගැනීමට රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයෙන් ඉල්ලුමක් ලැබී ඇති බව 2025.02.05 දිනැතිව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 2585 මඟින් දැනුවත් කරන ලදී. එහිදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 2585ට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත විකල්ප යෝජනා සඳහා අනුමැතිය ලබා දී ඇත.
රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයෙන් යෝජනාවක් එවලා තිබෙනවා, ඒගොල්ලන්ට ඒක මිලියන 415කට ගන්න පුළුවන් කියලා.
නමුත් අපි යෝජනා කරන්නේ ඒක නොවෙයි, මේ කරුණු.
i. අදාළ ගොඩනැඟිල්ල පිළිසකර කිරීම සඳහා CECB ආයතනය ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව පිළිගැනීම සහ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීම.
ii. පවතින ගොඩනැඟිල්ල බිඳ දමා අධිකාරියේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි නව ගොඩනැඟිල්ලක් එම ස්ථානයේ ඉදිකිරීම.
iii. පැරණි ගොඩනැඟිල්ල වැඩිම ලංසුවට අළෙවි කර නව ගොඩනැඟිල්ලක් මිලදී ගැනීම. (ඒ සඳහා සුදුසු රජයේ ටෙන්ඩර් පටිපාටිය මඟින් මිල ගණන් කැඳවීම තුළින් වැඩිම මිලට එම ගොඩනැඟිල්ල අළෙවි කර අධිකාරිය සඳහා නව ගොඩනැඟිල්ලක් ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.)
මෙම ගොඩනැඟිල්ල විකිණීම සහ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනා කිරීමට පහත සාධක හේතු වී ඇත.
මේක විකුණන්න හෝ නව ගොඩනැඟිල්ලක් හදන්න හෝ තිබෙන හේතු මෙන්න මේවායි.
· අදාළ ගොඩනැඟිල්ලේ පහත මාලය සුළු වර්ෂාවකදී පවා වැසි ජලයට යටවීම.
ඒ කියන්නේ, රේණුකා සමාගමේ ඉදිකිරීම නිසා දැන් තිබෙන පහත මාලය පොඩි වැස්සකට පවා යට වෙනවා.
· අදාළ ගොඩනැඟිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා නොතිබීම.
මේක ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන ගොඩනැඟිල්ලක් නොවෙයි.
අපට දැන් තිබෙන ගොඩනැඟිල්ලේ වාහන තුනක් නවත්වන්න විතරයි පහසුකම් තිබෙන්නේ. ඒ හේතුවෙන් නව ගොඩනැඟිල්ලක් තුළින් එම අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් කියලා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා.
නව ගොඩනැඟිල්ල ලබා ගැනීමට අදාළව ඉදිරිපත් කරන ලද අංක 2585 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව (ආ) හා තීරණය (ඇ) වශයෙන් ඇමුණුම 7 හා 8 හැටියට මම ඉදිරිපත් කරනවා. තවම මේ පිළිබඳ තීරණයක් අරගෙන නැහැ.
ගරු කථානායකතුමනි, බැලූ බැල්මට මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනය බිල්ඩින් එක හදනකොට ඇතිවෙච්ච ඉරිතැළීම් නිසා මේක ගිලා බහිනවා කියලා 2021දී තමයි මෙතැනින් ඉවත් වෙන්න කියලා තිබෙන්නේ. හැබැයි, අද වෙනකම් එහෙම ගිලා බැසීමක් සිදු වෙලා නැහැ. නමුත්, රජයේ ආයතනයකින් තක්සේරු කරලා වාර්තාවක් දුන්නාට පස්සේ අපට අවදානමක් අරගෙන එතැන ඉන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. මේ පිළිබඳව හරි වාර්තාවක් තවම ඇවිල්ලාත් නැහැ. ඒ නිසා අපි කුලියට ඉන්නවා. අපේ ආයතනය වෙනම තිබෙනවා. ඒ ආයතනය විකුණන්න හරි රේණුකා හෝල්ඩින්ග්ස් එකට දෙන්න හරි කිසිම තීරණයක් අරගෙන නැහැ. මේ ගනුදෙනුව සිද්ධ වුණු ආකාරය පිළිබඳව යම් යම් සැක සහිත කාරණාත් ඒ කාලයේ මතු වෙලා තිබෙනවා. කොහොම වුණත්, මේ බිල්ඩින් එක තවම තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කිසිම තීරණයක් අරගෙන නැහැ. අපි ගත්ත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව හා තීරණයත් ඉදිරිපත් කර තිබෙනවා.
01 - 08 දක්වා වූ ඇමුණුම් මේ අවස්ථාවේදී මා සභාගත* කරනවා.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks