01

E   |     |  

 දිනය: 2025-04-23   පිළිතුර ලබා දී ඇත 

0604/2025: මිනුවන්ගොඩ, පන්සිල්ගොඩ පාලම: නිම නොකිරීම

604/2025

ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ, පන්සිල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ගම්මාන 09ක 8000ක් පමණ ජනතාව දෛනිකව භාවිතා කරනු ලබන පාලම අලුත්වැඩියා කිරීම සඳහා 2021 වර්ෂයේදී ගලවා ඉවත් කර ඇති බවත්;

(ii) එහෙත්, වර්ෂ 04ක කාලයක් පුරා එම පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හා එම මාර්ගයේ ගම්පහ දක්වා ධාවනය වූ බස්රථ දෙක ‍ධාවනය නොකිරීම හේතුවෙන් ඉහත ජනතාව දුෂ්කරතාවයට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

‍(ii) එම සම්පූර්ණ මුදලම අදාළ ගිණුමට බැර කර තිබේද;

(iii) එසේ නම්, එම ගිණුමේ නම සහ ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකුව කවරේද;

(iv) එම පාලමේ ඉදිකිරීම් මාස දෙක හමාරක් තුළ අවසන් කරන ලෙස  එම පාලමේ ඉදිකිරීම් බලධාරිත්වය දරන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට 2024.04.04 දින පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  දැනුම් දුන් බව දන්නේද;

(v) එම පාලම විවෘත කිරීමට ගත වන කාලය කොපමණද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-23

අසන ලද්දේ

ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම ස්ථානයේ පාලම්  2ක් ඉදිකිරීම ආරම්භ කළ අතර, පළමු පාලම 2021 වර්ෂයේ ආරම්භකොට අවසන් කර ඇත.

                        2022 වර්ෂයේ නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළ බැවින් පැරණි පාලම 2022 වර්ෂයේ ඉවත් කර ඇත. එම කාලයේදී පැවති වර්ෂාව සහ ගොවි සමිති මඟින් වරින් වර ජලය අවහිර කිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් සහ අමු ද්‍රව්‍ය හිඟවීම නිසා අපේක්ෂිත කාලයට වඩා කාලයක් එම ඉදිකිරීමට වැය වී ඇති බැවින්, මේ වන තෙක් ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වී ඇත.

   (ii) ඔව්. අදාළ මාර්ගයේ ධාවනය වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් යොදවා තිබූ පෞද්ගලික බස් රථ 2ක් මේ වනවිට විකල්ප මාර්ගයක් ඔස්සේ ගම්පහ සිට මිනුවන්ගොඩ දක්වා ධාවනය කරනු ලැබේ. පාලම නවීකරණය කිරීම හේතුවෙන් පෙර මාර්ගයේ වත්තේගෙදර හන්දියේ සිට පන්සිල්ගොඩ හන්දිය දක්වා කිලෝමීටරයක පමණ දුරක් මෙම බස් රථ 2ක ධාවනය කළ නොහැකිව පවතින බව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

 

(ආ) (i) 2021.02.23 දින අනුව මූලික ඇස්තමේන්තුව රුපියල් 46,070,758.79කි. ඒ, වැට් රහිතව. 2023.05.30 දින කැබිනට් තීරණ අංක අමප/23/0766/608/054 අනුව සංශෝධිත ඇස්තමේන්තුව රුපියල් 86,588,568.23කි. ඒ, වැට් රහිතව.

(ii) ඇස්තමේන්තුවක් පමණක් වන අතර එම ඇස්තමේන්තුගත මුදල බැංකු ගිණුමක් වෙත තැන්පත් කිරීමක් සිදු නොකරයි. ක්ෂේත්‍රය තුළ නිම කරන ලද ඒ ඒ වැඩ සඳහා පමණක් එම වැඩ නිමකර අනුමත වූ අවස්ථාවන්හිදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කර අදාළ කොන්ත්‍රාත්කාර සමාගම වන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත ගෙවීම් කර ඇත.

(iii) අදාළ නොවේ.

(iv) ඔව්. ඉදිකිරීම් භාරව සිටින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ පවතින ගැටලු සැලකිල්ලට ගෙනත් මිනුවන්ගොඩ නගර සභාවට එම පාලම පවරා ගෙන පාලම නිම කිරීමට කැමැත්ත පළ කර ඇති නිසාත්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ කොන්ත්‍රාත්තුව අවලංගු කර මිනුවන්ගොඩ නගර සභාවට ලබා දීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සමඟ කටයුතු කරමින් සිටී.

(v) කොන්ත්‍රාත් නැවත පැවරීම පිළිබඳ පරිපාලන කටයුතු මෙම වසර නිමවීමට පෙර අවසන් කර ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks