01

E   |     |  

 දිනය: 2025-09-11   පිළිතුර ලබා දී ඇත 

0597/2025: ආගමන හා විගමන දෙපාර්‌තමේන්තුව: හදිසි සහතික නිකුත් කිරීම නැවැත්වීම

597/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ආගමන හා විගමන දෙපාර්‌තමේන්තුව විසින් හදිසි සහතික (EC passport) නිකුත් කිරීම 2024.12.24 දිනෙන් පසුව නවතා ඇති බව දන්නේද;

              (ii)       ඒ සඳහා හේතුවූ කරුණු කවරේද;

(iii) ඉන්දියාවේ සහ නේපාලයේ වන්දනා ගමන් සඳහා පිටත්ව යන වන්දනාකරුවන් සඳහා සහ විවිධ රෝගවලට ඉන්දියාවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පිටත්ව යන රෝගීන් සඳහා ඒ වෙනුවට ලබාදී ඇති විකල්පය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-11

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ - ICAO - ප්‍රමිතීන්ට අනුකූලව විදේශගත වීමේදී "සියලු රටවල් සඳහා වන විදේශ ගමන් බලපත්‍රයක්- ALL COUNTRY PASSPORT" පමණක් භාවිත කළ යුතු බැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් එවකට දෙපාර්ත‍මේන්තුව සතුව තිබූ හිස් හදිසි සහතික ප්‍රමාණය අවසන් වන තෙක් පමණක් හදිසි සහතික - EC Passports - සඳහා අයදුම්පත් භාර ගන්නා ලදී.

                        එසේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් නුදුරේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති නව ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ - ICAO -  ප්‍රමිතීන්ට අනුකූලව නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව ඉදිරියේ දී ලෝකයේ විවිධ කලාප සඳහා වෙන් වෙන් වශයෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනුවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන් අනුගමනය කරමින් "සියලු රටවල් සඳහා වන විදේශ ගමන් බලපත්‍රයක් - ALL COUNTRY PASSPORT " පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

(iii) ඉන්දියාව හා නේපාලය වෙත වන්දනා ගමන් සඳහා පිටත්ව යන වන්දනාකරුවන් සඳහා හදිසි සහතික වෙනුවට සියලු රටවල් සඳහා නිකුත් කරනු ලබන P කාණ්ඩයේ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාව වෙත ‍පිටත්ව යන රෝගීන් සඳහා හදිසි සහතික නිකුත් කිරීමක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු නොකරන ලදී.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks