04

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0581/2025: රජයේ රෝහල් සහ හදිසි ප්‍රතිකාර ඒකක: මාතර දිස්ත්‍රික්කය

581/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      රජයේ රෝහල් වර්ගීකරණය අනුව එක් එක් වර්ගයේ රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

           (iii)      මාතර දිස්ත්‍රික්කය තුළ ඇති එම එක් එක් වර්ගයේ රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මාතර දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) එම මධ්‍යස්ථාන සඳහා ලෝක බැංකු ණය මඟින් හෝ වෙනත් ආකාරයකින් හදිසි ප්‍රතිකාර ඒකක (ETU) 18ක් මිලදී ගෙන තිබේද;

(iii) එසේ නම්, එම වර්ෂය කවරේද;

(iv) ඒ වනවිට රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා කවුරුන්ද;

(v) එම ඒකක මේ දක්වාත් හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වාගෙන නොයන්නේ නම්, ඒ සඳහා ඇති බාධාව කවරේද;

 

(vi) එම ඒකක, හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ඉදිරි පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1208කි.

              (ii)      ජාතික රෝහල්      -    03

                        ශික්ෂණ රෝහල්    -    17

                        විශේෂිත රෝහල්   -    14

                        අධ්‍යක්ෂ මණ්ඩල යටතේ

                        කළමනාකරණය වන රෝහල්    -       02

                        දිස්ත්‍රික් මහ රෝහල්    -      20

                        මූලික රෝහල් A    -    35

                        මූලික රෝහල් B    - 45

ප්‍රාදේශීය රෝහල් A - 67

ප්‍රාදේශීය රෝහල් B - 148

ප්‍රාදේශීය රෝහල් C - 277

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක - 580

එකතුව - 1208

(iii) දිස්ත්‍රික් මහ රෝහල් - 01

මූලික රෝහල් A - 01

මූලික රෝහල් B - 01

ප්‍රාදේශීය රෝහල් A - 03

ප්‍රාදේශීය රෝහල් B - 06

ප්‍රාදේශීය රෝහල් C - 07

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ‍ඒකක - 18

(ආ) (i) 18කි.

(ii) ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 18 සඳහාම මූලික හදිසි ප්‍රතිකාර සේවය - ETU - ලබා දීම සඳහා ECG machines, nebulizers, sucker machines, ETU beds, multi monitors, oxygen concentrators, regulators සහ spinal boards මිලදී ගෙන ඇත. තවද, ආයතන කිහිපයක් සඳහා laryngoscopes, infusion pumps, drug trolleys, patient trolleys සහ wheel chairs මිලදී ගෙන ඇත. ඇතැම් ප්‍රාථමික සත්කාර ඒකකවල හදිසි ප්‍රතිකාර ඒකක ආයතනය තුළම පවත්නා පහසුකම් නවීකරණය කරමින් ඉදි කර ඇති අතර, එසේ කළ නොහැකි ස්ථානවල නව කාමරයක් ඉදිකර ඇත. නමුත්, තිහගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය දැනට බදු පදනම මත ලබා ගන්නා ලද නිවසක පවත්වා ගෙන යන බැවින් නව හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට හෝ දැනට පවත්නා ඒකකය නවීකරණය කිරීමට හෝ මෙතෙක් හැකියාවක් න‍ොමැත.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය - PSSP - හරහා මීට අවශ්‍ය මූලික ප්‍රතිපාදන ලබා දීම සිදු විය. මෙම ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන්.

(iii) ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය 2019 සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක නවීකරණය සඳහා 2022 හා 2023 වර්ෂවලදී මුදල් වෙන් කර ඇත.

 

(iv)

 

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා

2022.04.18 -  2022.05.09

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා

2021.08.16 - 2022.04.07 2022.05.20 - 2022.07.20

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා

2023.10.24 - 2024.09.23

(v) මාතර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාථමික සත්කාර ඒකක 18න් 17ක් දැනට හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වා ගෙන යන අතර, තිහගොඩ ප්‍රාථමික සත්කාර ඒකකය පමණක් කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන බැවින් එහි හදිසි ප්‍රතිකාර ඒකකය නවීකරණය කර ක්‍රියාත්මක නොවන නමුත්, නිහාරිකරණය -nebulization- වැනි ඇතැම් ප්‍රතිකාර පමණක් සිදු කෙරේ.

 

(vi)

  • දැනට අඩුපාඩු පවතින ප්‍රාථමික සත්කාර ඒකකවල ඉඩපහසුකම් සහ උපකරණ ඉදිරි ලෝක බැංකු ව්‍යාපෘති මඟින් (ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - PHSEP -) ලබා දීමට සැලසුම් කර ඇත.
  • දැනට කුලී පදනම මත පවත්වාගෙන යන තිහගොඩ ප්‍රාථමික සත්කාර ඒකකය ඉදිරියේදී රජයේ පරිශ්‍රයක ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks