01

E   |     |  

 දිනය: 2025-05-20   පිළිතුර ලබා දී ඇත 

0578/2025: පාලම් ඉදිකිරීම: මඩකලපුව දිස්ත්‍රික්කය

578/2025

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති කලපුව හේතුවෙන් එම දිස්ත්‍රික්කය එළුවාන්කරෙයි හා පඩුවාන්කරෙයි යනුවෙන් භූමි භාග දෙකකට වෙන් වී ඇති බැවින් එහි ජීවත් වන ජනතාවගේ ප්‍රවාහන හා ආර්ථික කටයුතුවලට දැඩි අහිතකර බලපෑමක් එල්ල වී ඇති බවත්;

(ii) එම ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා පාලම් තැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත්;‍

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රමාණවත් පරිදි පාලම් නොමැති වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා කවරේද;

(ii) එම දුෂ්කරතා මඟහැරවීම සඳහා ඉදිකළ යුතු පාලම් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද;

(iii) එම පාලම් ඉදි කළ යුතු ප්‍රදේශ කවරේද;

 

(iv) ඉදිකිරීමට නියමිත පාලම් අතරින් 2025 වර්ෂයේ අයවැය ප්‍රතිපාදනවලින් සහ ජාත්‍යන්තර ආධාරවලින් අවම වශයෙන් පාලම් දෙකක් හෝ ඉදිකිරීමට කටයුතු කරන්නේද;

(v) එම පාලම් ඉදිකිරීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට සමාජ හා ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-05-20

අසන ලද්දේ

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         ඔව්.

                        මඩකලපුව දිස්ත්‍රික්කයේ දකුණු කොටසේ ඇති පද්දිරුප්පු - මඩකලපුව කළපුව සහ උතුරු කොටසේ ඇති වාලච්චේන කළපුව යන ප්‍රධාන කළපු දෙක, භූමි ප්‍රදේශය එළුවන්කරෙයි සහ පඩුවන්කරෙයි යනුවෙන් හඳුන්වන භූමි භාග දෙකකට වෙන් කරයි. මෙම කළපු නිසා මෙම ප්‍රදේශයේ මාර්ග සම්බන්ධතාව සීමා වී ඇත.

(ii)        ඔව්.

(ආ)                   (i) සෞඛ්‍ය සේවා, වෙ‍ළෙඳ පොළ සහ පාසල් සඳහා ප්‍රවේශවීමේ දුෂ්කරතා පවතින බව නිරීක්ෂණය වේ.

(ii) ඒ සඳහා සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම අවශ්‍ය වේ.

(iii) ඒ සඳහා සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම අවශ්‍ය වේ.

(iv) මෙම ස්ථාන පළාත් පාලන ආයතනවල බල ප්‍රදේශ යටතේ පවතින බැවින් 2025 වසර සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත. එබැවින් සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු අතර ඉදිකිරීම් සඳහා අරමුදල් සලසා ගත යුතුය.

(v) එම පාලම් ඉදි කිරීමෙන් ලැබෙන සැබෑ ප්‍රතිලාභ පිළිබඳ සභාවට ඉදිරිපත් කළ හැක්කේ සවිස්තරාත්මක ආර්ථික, පාරිසරික සහ සමාජීය ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසුව පමණි.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks