E   |     |  

 දිනය: 2025-10-10   පිළිතුර ලබා දී ඇත 

0561/2025: මී උණ රෝගය: පාලනය කිරීම

561/2025

ගරු රෝහණ බංඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) රෝගයට ගොදුරුවී ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ එම රෝගය හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මී උණ රෝගය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-10

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම මඟින් දක්වා ඇත.

 

(ii)    1.     ජාතික මාර්ගෝපදේශක කමිටුව පිහිටුවීම.

                           මී උණ රෝගය වැළැක්වීම හා පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මාර්ගෝපදේශක කමිටුව පිහිටුවා ඇති අතර, එමඟින් රාජ්‍ය මට්ටමින් උපදෙස් ලබා දීම, අධීක්ෂණය කිරීම, ප්‍රතිපත්ති හා මඟපෙන්වීම් ලබා දීම සිදු කරයි.

2. දිස්ත්‍රික් මට්ටමේ මාර්ගෝපදේශ කමිටු පිහිටුවීම.

දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ සම සභාපතිත්වයෙන් දිස්ත්‍රික් මාර්ගෝපදේශ කමිටු පිහිටුවා ඇති අතර එමඟින් පෙර සූදානම් වැඩසටහන් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ විශ්ලේෂණය කිරීම් කටයුතු සිදු කරයි. එහිදී මී උණ රෝගය සඳහා අධි අවදානම් දිස්ත්‍රික්ක 12ක් හඳුනාගෙන තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඒවා තමයි, ගාල්ල, රත්නපුරය, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොනරාගල කියන දිස්ත්‍රික්ක.

3. බහු ආංශික විද්වත් කමිටුව පිහිටුවීම.

විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත බහු ආංශික විද්වත් කමිටුවක් පිහිටුවා, විශේෂ උපකමිටු 4ක් සම්බන්ධ කර එම උපකමිටු හරහා, මී උණ රෝගය වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම එමඟින් සිදු කරයි.

4. මාධ්‍ය ප්‍රචාර මඟින් ජනතාව දැනුවත් කිරීම‍‍.

රාජ්‍ය අනුග්‍රහය මඟින් යල සහ මහ කන්න වගා කිරීමට සහ අස්වනු නෙළීමට ප්‍රථම සහ මෝසම් වැසි සමයට පෙර ගුවන් විදුලි පණිවුඩ, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

5. පෝස්ටර් සහ තොරතුරු පත්‍රිකා හරහා ප්‍රජාව දැනුවත් කිරීම.

6. පූර්ව ප්‍රතිකාර ලබා දීම.

ඔබතුමන්ලා දන්නවා, අපි prophylaxis එකක් හරි doxycycline ලබා දෙන බව. ඒක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනවා වාගේම ලබා ගැනීමට අවශ්‍ය පෙලඹවීම ඇති කිරීම සඳහා තමයි අපි ඒ දැනුවත් කිරීම කරන්නේ.

7. රෝහල්වල මී උණ මරණ සමාලෝචනය.

රෝහල් මට්ටමින් මරණ සමාලෝචනය කරමින්, මරණයට හේතු හඳුනා ගැනීම මඟින් ප්‍රතිකාර, මාර්ගෝපදේශ ශක්තිමත් කිරීම.

අපට මේ මරණ වළක්වා ගැනීමට තිබෙන හොඳම ක්‍රමයක් තමයි ඒ ක්‍රියාවලිය.

8. සායනික මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම.

බහු ආංශික විද්වත් කමිටුව නවතම සාක්ෂි සහ පර්යේෂණ යාවත්කාලීන කර, තාක්ෂණික උපකමිටු සහ වෛද්‍ය විශේෂඥයන්ගේ දායකත්වයෙන් සංශෝධනය කරමින් පවතී.

9. වෛද්‍ය නිලධාරින් පුහුණු කිරීම සහ දැනුවත් කිරීම.

වෛද්‍ය නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර, නිරීක්ෂණ වාර්තා සහ රෝග කළමනාකරණය වැඩි දියුණු කර මරණ සහ සංකූලතා අවම කර ගැනීමට ක්‍රියා කිරීම.

10. පර්යේෂණ ක්‍රියාත්මක කිරීම.

මී උණ රෝගය පැතිරීම පිළිබඳ දැනුම ජාත්‍යන්තර මට්ටමින් පවා අවම මට්ටමක පවතින අතර, ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා සතුන්ගේ බලපෑම, කාලගුණ තත්ත්වය සහ පාරිසරික සාධක පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම.

11. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමුඛ බෝවන රෝගයක් ලෙස පිළිගැනීම.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මී උණ රෝගය ප්‍රමුඛ බෝවන රෝගයක් ලෙස පිළිගැනීම සඳහා 2025 ලෝක සෞඛ්‍ය සමුළුවේ යෝජනා කිරීමට ශ්‍රී ලංකාව පුරෝගාමී වීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks