04

E   |     |  

 දිනය: 2025-03-18   පිළිතුර ලබා දී ඇත 

0495/2025: මිහින්තලේ ගොවිජන සේවා බැංකුව: සී/ස ජනතා ලංකා මිරිස් අළෙවි සමාගමට ලබා දුන් ණය

495/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මිහින්තලේ, ගොවිජන සේවා බලප්‍රදේශයේ, සීමාසහිත ජනතා ලංකා මිරිස් අලෙවි සමාගම පිහිටුවා තිබෙන බව දන්නේද;

            (ii)       2001 වර්ෂයේදී මිහින්තලේ ගොවිජන සේවා බැංකුව මඟින් එම සමාගමට රු. 1,275,000/-ක ණය මුදලක් ලබා දී තිබේද;

‍(iii) එසේ නම්, එම ණය මුදල ලබා දීමේ පදනම කවරේද;

(iv) එම ණය මුදල නැවත අයකර ගන්නේද;

(v) එසේ නම්, අයකර ගැනීමේ පදනම කවරේද;

(vi) එම ණය මුදල සඳහා අයකර ගතයුතු රු. 1,975,233/-ක පොළී මුදල අයකර නොගැනීමට තීරණය කර තිබේද;

(vii) එසේ නම්, ඒ සඳහා හේතු වූ කරුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-18

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        සීමාසහිත ජනතා ලංකා මිරිස් නිෂ්පාදන හා අළෙවි ගොවි සමාගම, N(EPV) (P) 122 යන ලියාපදිංචි අංකය යටතේ 2001 මාර්තු 21 දින සමාගම් රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කර ඇත.

              (ii)      ඔව්.

            (iii)      2001.04.19 වන දින සීමාසහිත ජනතා ලංකා මිරිස් නිෂ්පාදන හා අළෙවි ගොවි සමාගමේ සභාපති එස්.එම්. චන්ද්‍රසේන මහතා - එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ හිටපු ඇමතිතුමා - විසින් රුපියල් ලක්ෂ සියයක ණය මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බල ප්‍රදේශ 12ක මිරිස් මිලදී ගැනීම සඳහා මිහින්තලේ ගොවිජන බැංකුවෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම මිහින්තලේ ගොවිජන සේවා කාරක සභාව විසින් 2001.04.19 දින නිර්දේශ කර අනුරාධපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති අතර, එම නිර්දේශ පදනම් කර ගනිමින් 2001.04.23 දින දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව විසින් රුපියල් ලක්ෂ 100ක ණය මුදල කොටස් වශයෙන් නිකුත් කිරීමටත්, ණය කොටස් ලබා දීමට පෙර ජාතික මෙහෙයුම් කමිටුව ණය නිකුත් කිරීමේදී හා භාවිතයේදී පනවන කොන්දේසි හා උපදෙස් අනුව කටයුතු කිරීමටත් ගොවිජන බැංකු (නියමු) යෝජනා ක්‍රමයේ අනුරාධපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ලිපි අංක 7/11/8/2/1/12 හා 2001.04.23 දිනැති කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් අමතන ලිපිය මඟින් රුපියල් ලක්ෂ සියයක් (රුපියල් මිලියන 10ක්) ආයෝජනය අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 1.2ක ණය මුදලක් නිකුත් කිරීම සුදුසු බවටත් නිර්දේශයක් එමඟින් දන්වා ඇත.

ඒ අනුව අධ්‍යක්ෂක මුදල් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආයතනික සංවර්ධන) පිටපත් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විසින් කොමසාරිස් ජනරාල් අමතන ලද ලිපි අංක ආසං/ගො.බැං. හා 2001.05.02 දිනැති ලිපිය මඟින් මෙම ණය මුදල අනුමත කරන ලද බව දන්වා ඇත.

එකී අනුමැතිය නියෝජ්‍ය කොමසාරිස් (ඵලදා හා අළෙවි) විසින් සහකාර කොමසාරිස්, අනුරාධපුර අමතන ලද ලිපි අංක 7/11/8/2/1/12 හා 2001.05.03 දිනැති ලිපිය මඟින් අනුමැතිය ලබා දී ඇති බව දන්වා ඇත.

(iv) ඔව්.

අනුරාධපුර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, ලිපි අංක 20/05/01/01/02 හා 2025.02.28 දිනැති ලිපිය මඟින් ණය මුදල හා අයවීමට ඇති ශේෂයන් පිළිබඳව පහත පරිදි දක්වා ඇත.

දිනය  

ණය හා පොලී අයවීම (රුපියල්)

මුළු එකතුව

අයවීමට ඇති ණය හා පොලී අයවීම (රුපියල්)

ණය මුදල

පොලිය

 

ණය මුදල

පොලිය

2001.09.07

389,500.00

10,500.00

400,000.00

885,500.00

-

2024.11.06

885,500.00

-

885,000.00

-

1,975,233.00

එකතුව

1,275,000.00

10,500.00

1,285,500.00

 

1,975,233.00

 

2001.09.07 දින සිට 2024 දක්වා මේ මුදල ගෙවීමට තිබෙනවා. නමුත්, ඒ වනකල්ම මේ මුදල ගෙවා තිබුණේ නැහැ.

(v) වාර්ෂිකව, කොමසාරිස් ජනරාල්ගේ 7/11/8/2/1/12 හා 2001.05.17 දිනැති ලිපිය මඟින් සියයට 10.5ක පොලී අනුපාතයක් සහිතව සාමාන්‍ය ණය අය කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ණය මුදල සහ පොලිය අය කිරීමට කටයුතු සිදු කරන ලෙස උපදෙස් දී ඇත.

(vi) නැත.

(vii) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන ගණකාධිකාරි විසින්, 2015.11.18 දිනැතිව 7/12/15/ජනතා මිරිස්/ගො/සං යටතේ අනුරාධපුර සහකාර කොමසාරිස් අමතන ලද ලිපියක් මඟින් උක්ත සමාගමේ අයවීමට පවතින ණය මුදල පමණක් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් ගෙවීමට‍ එකඟ වී ඇති බව සහකාර කොමසාරිස් විසින් සඳහන් කර ඇති බැවින් එකී ණය මුදල වන රුපියල් 885,500 පමණක් වාරික 12කින් අය කර එවන ලෙස දන්වා ඇත.

එකී ලිපියට අනුව නැවත ගොවිජන සංවර්ධන කොමසාරිස් (සේවා) ලිපි අංක 7/12/1/15-2 හා 2025.01.02 දිනැති ලිපිය මඟින් සී/ස (ජනතා) ලංකා මිරිස් නිෂ්පාදන හා අළෙවි ගොවි සමාගම වෙත නිකුත් කරන ලද ණය මුදල වන රුපියල් 885,500ක් පමණක් අය කිරීම ප්‍රමාණවත් බවත්, පොලී මුදල වන රුපියල් 1,975,233ක් අය කිරීම අවශ්‍ය නොවන බවත් දන්වා ඇත.

එහෙත් ඉහත සඳහන් ලිපිය නැවත සංශෝධනය කර 2025.01.29 දිනැති ලිපිය මඟින් සී/ස (ජනතා) ලංකා මිරිස් නිෂ්පාදන හා අළෙවි ගොවි සමාගම වෙත නිකුත් කරන ලද ණය මුදල වන රුපියල් 885,500ක් සහ මුළු පොලී මුදල වන රුපියල් 1,975,233ක් අය කිරීම අවශ්‍ය වන බව අනුරාධපුර නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් වෙත දන්වා ඇත. ඒ අනුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි විසින් අංක 19/26/ගො.බැ. හා 2025.02.18 දිනැතිව එස්.එම්. චන්ද්‍රසේන මහතා අමතන ලද ලිපිය මඟින් උක්ත පොලී මුදල ද දින 14ක් තුළ ගෙවන ලෙස දැනුම් දී ඇත.

කලින් එහෙම තීන්දුවක් අරගෙන තිබුණා. ඒ තීන්දුව මේ වනකොට අපි වෙනස් කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 1,975,233ක මුදලක් අයවීමට නියමිතයි. 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks