පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
492/2025
ගරු දේවානන්ද සුරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාව සහ ලියාපදිංචි ඖෂධවේදීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව ලියාපදිංචි ඖෂධශාලා, ලියාපදිංචි ඖෂධවේදියකුගේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යායුතු වන්නේද;
(iii) ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාවට සාපේක්ෂව ලියාපදිංචි ඖෂධවේදීන්ගේ හිඟයක් පවතින බව පිළිගන්නේද;
(iv) එසේ නම්, එම හිඟය මඟ හරවා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටීම සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් රසායන විද්‍යාව සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබිය යුතු බව දන්නේද;
(ii) අවසන්වරට පවත්වන ලද බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටි 1,700ක් පමණ වන අයදුම්කරුවන් අතරින් අයදුම්කරුවන් 99ක් පමණක් සමත් වී ඇති අතර එම සංඛ්‍යාව විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 6%ක් වැනි අඩු ප්‍රතිශතයක් බව පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-07
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ලංකාවේ දැනට ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාව - 5,200
ලියාපදිංචි ඖෂධවේදීන් සංඛ්‍යාව - 8,521
ඒ කිව්වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශය කියන දෙකේ සියලුම සංඛ්‍යාවයි.
(ii) ඔව්.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ අංක 120 ප්‍රකාරව, 120 (02) - බලපත්‍රයක් දරන්නකු විසින් තම ඖෂධශාලාවෙහි අවම වශයෙන් සුදුසුකම් ලත් එක් ඖෂධවේදියකුවත් සේවයේ යොදවනු ලැබිය යුතු අතර ඔහු විසින් ඖෂධ, වෛද්‍ය උපකරණ හෝ සීමාස්ථ නිෂ්පාදනවලට අදාළව ඖෂධශාලාවේ සියලු කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතුය.
120 (03) - සෑම ඖෂධශාලාවකම ඖෂධ, වෛද්‍ය උපකරණ හෝ සීමාස්ථ නිෂ්පාදනයක් නිකුත් කිරීම ඖෂධවේදියෙකු හෝ ඖෂධවේදියෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ ලියාපදිංචි ආධුනික ඖෂධවේදියෙකු විසින් සිදු කළ යුතුය.
(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ අංක 120 අනුව කටයුතු කිරීමේදී වග කිව යුතු ඖෂධවේදියෙකු ඖෂධශාලාවක පූර්ණ කාලීනව සිටීම අනිවාර්ය වන අතර, ලියාපදිංචි ඖෂධවේදීන්ගෙන් සමහරු රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත වූවන් වන බැවින් ඔවුන්ට ඖෂධශාලාවක වග කිව යුතු ඖෂධවේදියෙකු ලෙස පූර්ණ කාලීනව සිටිය නොහැක. රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වන පුද්ගලයින් විසින් ඔසුසල් සඳහා අයදුම් කර ඇති බැවින් ආසන්න වශයෙන් ඔසුසල් 200ක පමණ සංඛ්‍යාවක බලපත්‍ර අලුත් කිරීම මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.
(iv) පෞද්ගලික අංශයේ ඖෂධවේදීන්ගේ හිඟය පියවීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම් විසින් 2025.01.10 දිනැතිව කමිටුවක් පත් කර ඇත. ඊට අදාළ ලිපිය ඇමුණුමෙහි දක්වා ඇත.
`ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව විසින් පවත්වන බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවම ලෙස අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් රසායන විද්‍යාව සඳහා සාමාන්‍ය සාමර්ථ්‍යයක් ලබා තිබීම ප්‍රමාණවත්ය.
(ii) අවසන් වරට පවත්වන ලද 2023 වසරට අදාළ බාහිර ඖෂධවේදී විභාගය සඳහා 1,697ක අයදුම්කරුවන් සංඛ්‍යාවක් සුදුසුකම් ලැබුවත්, ඉන් විභාගය සඳහා පෙනී සිටියේ 1,487ක සංඛ්‍යාවකි. ඉන් ලිඛිත, ප්‍රායෝගික හා වාචික පරීක්ෂණ යන කොටස් තුනෙන්ම සමත් වී ඇත්තේ අයදුම්කරුවන් 100දෙනෙකු පමණි. එය සියයට 6.7ක ප්‍රමාණයක් පමණි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks