01

E   |     |  

 දිනය: 2025-04-09   පිළිතුර ලබා දී ඇත 

0484/2025: අරාබි විදුහල්වල ගුරුවරුන් : පුහුණු කිරීම

484/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)      මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;

(ii) ඒ හේතුවෙන් ඉගැන්වීම් කටයුතුවලට නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මුස්ලිම් දේවස්ථානවල සේවය කරන ඉමාම්වරුන්ට සහ මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;

(ii) ඒ හේතුවෙන් ඔවුන් විසින් ඉටු කරනු ලබන කටයුතු සඳහා නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;

යන්නත් එතුමා දන්නෙහිද?

‍(ඇ) අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට සහ මුස්ලිම් දේවස්ථානවල සේවය කරනු ලබන ඉමාම්වරුන්ට හා මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා දීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පුහුණු මධ්‍යස්ථානයක් නොමැත.

              (ii)      විධිමත් පුහුණු මධ්‍යස්ථානයක් නොමැති වුවද අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරු මණ්ඩලය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂික     විවිධ පුහුණු වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලැබේ. වර්තමානයේ අරාබි විදුහල් සඳහා නව විෂය මාලාවක් සංශෝධනය වෙමින් පවතින අතර එය අනුමත වීමෙන් පසුව මෙම පුහුණුව ක්‍රමානුකූලව අධ්‍යාපන රාමුවට ඒකාබද්ධ කර අවශ්‍ය පුහුණුව ලබා දීමට සැලසුම් කෙරේ.

ඔබතුමාට අපි මීට කලිනුත් දැනුම් දුන්නා, මේ විෂය මාලාව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දැන් තිබෙන්නේ අවසන් කොටසේ. මුස්ලිම් පාසල් නියෝජනය කරන දූ දරුවන් වෙන්නට ඕනෑ අද ගැලරියේ රැඳී සිටිනවා. අපි ඔවුන්ව බොහොම ආදරයෙන් පිළිගන්නවා.

(ආ) (i) පුහුණු මධ්‍යස්ථානයක් නොමැත.

     (ii) විධිමත් පුහුණු මධ්‍යස්ථාන නොමැති වුවද අදාළ ඉමාම්වරුන් ඉගෙනුම් ලැබූ අරාබි විදුහල්වලින් අවශ්‍ය පුහුණුව ලබා දීමෙන් පසුව ඉමාම් යන භූමිකාව සඳහා අරාබි විදුහල් හා පල්ලිවලට ඔවුන් යොදවනු ලබන බැවින් නිසි පුහුණුවක් ලැබේ.

(ඇ) නව විෂය මාලාවක් හඳුන්වා දීමත් සමඟම අනාගතයේ අරාබි විදුහල්වල අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් ගුරුවරුන්ට වඩාත් ගුණාත්මක පුහුණුවක් ලබා දීම අරමුණ වේ. එහිදී දැනට සිදු කරනු ලබන වාර්ෂික පුහුණු වැඩසටහන්වලට අමතරව පුහුණු මධ්‍යස්ථානයක් සකස් කර ගැනීම කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වෙනවා.

දැනට මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් නැහැ. මෙතෙක් කල් කිසිම අය වැයකින් එබඳු පුහුණු මධ්‍යස්ථානයකට ප්‍රතිපාදන වෙන් වෙලාත් නැහැ. එය කරන්න බලාපොරොත්තු වෙනවා.

(ඈ) ‍අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks