E   |     |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

0463/2026: ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්: හිඟ බදු

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2024.01.01 සිට 2024.12.31 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රමාණය කොපමණද;

            (ii)       එම ප්‍රමාණයෙන් පිරිපහදු කර අලෙවි කර ඇති ප්‍රමාණය සඳහා 18%ක  වැට් බද්ද සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ආනයනය කළ ආයතන විසින් ගෙවා තිබේද;

(iii) එසේ නම්, ගෙවා ඇති මුළු බදු මුදල කොපමණද;

(iv) ගෙවීමට ඇති හිඟ බදු මුදල කොපමණද;

(v) එම හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(vi) එම ආයතන සඳහා බදු සහන ලබාදී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2024.01.01 සිට 2024.12.31 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රමාණය පහත දැක්වේ.

 

 

              (ii)      2024.01.01 දින සිට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් 6ක් අතරින් එක සමාගමක් පමණක් එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා ඇත. අනෙකුත් සමාගම් 5 සඳහා තක්සේරු නිකුත් කර ඇත.

(iii) වාර්තා ඉදිරිපත් කර අදාළ බදු ගෙවා තිබූ සමාගමට අනුව, වැට් සඳහා රුපියල් 2,428,772,107ක් ද - රුපියල් මිලියන 2,429ක් - සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා රුපියල් 434,144,509ක් ද - රුපියල් මිලියන 434ක් - ගෙවා තිබේ.

(iv) ඉතිරි සමාගම් 5ට අදාළව එකතු කළ අගය මත බද්ද සඳහා 2024 වර්ෂයේ කාර්තු හතර සඳහා රුපියල් 2,723,983,077ක - රුපියල් මිලියන 2,724ක - තක්සේරු දැන්වීම් නිකුත් කර ඇත.  එකී මුදල් මේ වන විට හිඟ බදු ලෙස පවතී. එමෙන්ම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා 2024 වර්ෂයේ කාර්තු හතර සඳහා රුපියල් 167,684,941ක - රුපියල් මිලියන 168ක - තක්සේරු නිකුත් කර ඇති අතර, එම මුදලද මේ වන විට හිඟ බදු ලෙස පවතී.

(v) තක්සේරු නිකුත් කර ඇති එක් සමාගමක් මේ වනවිට අභියාචනා කර ඇති අතර, එකී අභියාචනා විභාග වෙමින් පවතී. අනෙකුත් සමාගම්වලට නිකුත් කර ඇති තක්සේරු දැන්වීම් සඳහා අභියාචනා කිරීමට ඇති කාලය තවදුරටත් පවතින බැවින් එම කාලය ඉකුත් වූ වහාම අදාළ ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බව දන්වමි.

(vi) මෙම කිසිදු සමාගමක් සඳහා එකතු කළ අගය මත බද්ද සඳහා හෝ සමාජ ආරක්ෂණ බදු සඳහා සහන ලබා දී නොමැත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks