01

E   |     |  

 දිනය: 2025-02-19   පිළිතුර ලබා දී ඇත 

0440/2025: බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය: නවීකරණය

440/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,—  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)       (i)       බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනය (නගර සභා ක්‍රීඩාංගනය) ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා යෝග්‍ය තත්ත්වයක නොපවතින බවත්;

             (ii)       එම ක්‍රීඩාංගනයේ ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති බවත්;

(iii) එහි ඉදිකර ඇති කානු පද්ධතිය හේතුවෙන් ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2015 සිට 2024 දක්වා එම ක්‍රීඩාංගනය නවීකරණය කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත ක්‍රීඩාංග‍නයට සිදු වී ඇති හානි සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන්නේද;

(iii) බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්‍රීඩකයන්ට සහ පාසල් සිසුන්ට භාවිතා කිරීමට හැකි වන පරිදි ඉහත ක්‍රීඩාංගනය නවීකරණය කිරීමට පියවර ගන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-19

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි,  එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      යෝග්‍ය නොවන බව දනිමි.

              (ii)      ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති බව දනිමි.

                        එහි නවීකරණ කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව සිදු කර ‍අවසන් කිරීමෙන් පසු නැවත 2022.01.19 දින බණ්ඩාරවෙල මහ නගර සභාව වෙත භාර දෙන අවස්ථාවේදී විධිමත් කාණු පද්ධතියක් ඉදිකර තිබී ඇත. එදින සිට එම ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු කරනු ලබන්නේ බණ්ඩාරවෙල මහ නගර සභාව විසිනි.

(iii) ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි බව දනිමි.

එහෙත්, බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා සකස් කළ ක්‍රීඩා පිටියක් නොව, මලල ක්‍රීඩා පැවැත්වීම සඳහා සකස් කළ ක්‍රීඩා පිටියකි.

ඒ නිසා එම ක්‍රීඩාංගණය ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු නැත. කෙසේ වුවත්, සංවර්ධන කටයුතුවලින් පසු එහි ක්‍රිකට් තරග පවත්වනවා නම්, boundary line එක තිබෙන්නේ කාණුවෙන් එළියේ. ඒ විධියට තමයි එහි සංවර්ධන කටයුතු සිදුවෙලා තිබෙන්නේ.

(ආ) (i) දක්වා ඇති කාල සීමාව තුළ 2019, 2020 සහ 2021 වර්ෂවල පමණක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැය කරන ලද මුදල් පහත පරිදි වේ.

වර්ෂය

වැය කරන ලද මුදල

2019

රුපියල් 16,409,553.76

2020

රුපියල් 41,745,045.23

2021

රුපියල් 1,716,901.30

 (ii) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසු 2022.01.19 දින අඩු පාඩු රහිතව එම ක්‍රීඩාංගණය බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් භාරගෙන ඇති බැවින්, එදින සිට මේ දක්වා යම් හානියක් සිදු වී ඇත්නම් එම හානි සම්බන්ධයෙන් පරීක්ෂණයක් බණ්ඩාරවෙල මහ නගර සභාව මඟින් සිදු කිරීම සුදුසු බව යෝජනා කරමි.

මොකද, ඒ සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ බණ්ඩාරවෙල මහ නගර සභාවටයි. එම නිසා බණ්ඩාරවෙල මහ නගර සභාව ඒ පිළිබඳව සොයා බලන්නට ඕනෑ.

(iii) 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රජය විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ මෙම ක්‍රීඩාංගණයේ නවීකරණය සඳහා ප්‍රතිපාදන වෙන් වී නොමැත.

මොකද, එය බණ්ඩාරවෙල නගර සභාවට අයිති ක්‍රීඩාංගණයක් නිසා.

නමුත්, දැනට අත්‍යවශ්‍ය පහසුකම් සහිත නඩත්තු කටයුතු බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් ඉටු  කිරීමට නියමිතය.

(iv) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය, බණ්ඩාරවෙල මහ නගර සභාව යටතේ පවතින බැවින් පවතින ප්‍රතිපාදන මත කලින් කලට අවශ්‍ය පහසුකම්, සියලු ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් සිදු කළ යුතු වේ.

(ඇ) එම ක්‍රීඩා සංකීර්ණ ඉදිකර අවසන් කිරීමෙන් අනතුරුව පරිපාලන හා නඩත්තු කටයුතු සඳහා අදාළ පළාත් පාලන ආයතනවලට භාර දිය යුතු අතර, ඒ අනුව බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය ද නවීකරණ කටයුතුවලින් අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාව වෙත නිසියාකාරව භාර දී ඇති බැවින් නවීකරණය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් මහ නගර සභාව විසින් සකස් කළ යුතු වේ.

මේ ක්‍රීඩාංගණය දැනට මහ නගර සභාවට අයිති නිසා මේ සියලු කටයුතුවල වගකීම මහ නගර සභාවට තිබුණත්, ඒක එසේ නොවන්නේ නම් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම අමාත්‍යාංශයේ වගකීමක් විධියට දකින නිසා අපි මේ ගැන සොයා බලන්නත් කටයුතු කරනවා.

 

පිළිතුරු දුන් දිනය

2025-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks