01

E   |     |  

 දිනය: 2025-02-22   පිළිතුර ලබා දී ඇත 

0431/2025: කළුතර දිස්ත්‍රික්කයේ KL-2 ව්‍යාපෘතිය: වත්මන් තත්ත්වය

431/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කළුතර දිස්ත්‍රික්කයේ, අයි-රෝඩ් ව්‍යාපෘතිය යටතේ KL-2 ව්‍යාපෘතිය (කළුතර පැකේජ් 2) නමින් ව්‍යාපෘතියක් තිබූ බවත්;

              (ii)       අදාළ කොන්ත්‍රාත් සමාගම නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් ඉහත ව්‍යාපෘතිය අතරමග නවතා ඇති බවත්;

(iii) ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටින බවත්;

 එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ අගලවත්ත සහ මතුගම මැතිවරණ බලප්‍රදේශ තුළ සංවර්ධනය කිරීමට නියමිතව තිබූ මාර්ග සංඛ්‍යාව කොපමණද;

(ii) එම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත් සමාගම/සමාගම් කවරේද;

  (iii) එම සමාගමේ/සමාගම්වල හිමිකාරිත්වය කවරේද;

(iv) ඉහත නීතිමය ක්‍රියාමාර්ගයේ වර්තමාන තත්ත්වය කවරේද;

(v) ඉහත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-22

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)       ඔව්.

                         ආසියානු සංවර්ධන බැංකුවේ - ADB - අරමුදල් මඟින් ක්‍රියාත්මක වූ iRoad-1 වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයට අදාළව KL-01, KL-02, KL-03 නමින් ව්‍යාපෘති 03ක් ආරම්භ විය.

පැකේජය

ඇස්තමේන්තු වටිනාකම (රුපියල් මිලියන)

KL-01

1,912.46

KL-02

1,811.35

KL-03

1,817.75

ඒ අතුරින් KL-02 පැකේජයට අදාළ කොන්ත්‍රාත්තුව Olympus Construction (Pvt.) Ltd. සහ Rani Construction (Pvt.) Ltd. හවුල් ව්‍යාපාරයට 2016 අගෝස්තු 31වැනි දා ප්‍රදානය කරන ලදී. කොන්ත්‍රාත්කරු වැඩ ආරම්භ කළේ 2016 සැප්තැම්බර් 29වැනි දාය.

කොන්ත්‍රාත්තුවට අදාළ මාර්ග සංඛ්‍යාව 19ක් වන අතර මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 89කි. එහි කොන්ත්‍රාත් මුදල රුපියල් මිලියන 1,811.35ක් පමණ වේ.

(ii)    ඔව්.

        KL-02 පැකේජය 2019 ජූලි 19වැනි දා කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය - poor performance - හේතුකොටගෙන කොන්ත්‍රාත්තුව අවසන්  කරන ලදී; contract was terminated. එසේ වුවද, මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරිය - RDA -  KL-02 පැකේජයේ ඉතිරි කටයුතු නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් - rebidding - මඟින් සම්පූර්ණ කිරීමට තීරණය කළේය. KL-02 පැකේජය නැවත ප්‍රසම්පාදන නාම ‍යෝජනා කැඳවීමේ කටයුතු ජාතික තරගකාරි ප්‍රසම්පාදන ක්‍රියාවලිය - NCB - යටතේ සිදු කරන ලදී.

නමුත්, ප්‍රසම්පාදන ආරාධනය - bid invitation - කළ වහාම, කොන්ත්‍රාත්කරු වාණිජ මහාධිකරණය වෙත පැමිණිලි කර, KL-02 ගිවිසුමේ ඉතිරි වැඩකටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය - RDA - විසින් අවසන් කිරීම වැළැක්වීමට නියෝගයක් ඉල්ලීය. ඒ අනුව වාණිජ මහාධිකරණය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත injunction නියෝගයක් නිකුත් කර, KL-02 ගිවිසුමේ ඉතිරි වැඩකටයුතු නැවත ප්‍රසම්පාදනය කිරීම - rebidding - වැළැක්වීය.

එයට අදාළ නඩු කටයුත්ත HC Civil 193/2020 MR දරන අංක යටතේ වාණිජ මහාධිකරණයේ - Commercial High Court එකේ - විභාග වූ අතර, නඩු තීන්දුව 2024 දෙසැම්බර් 18 දින ලබා දුනි. ඒ, අවුරුදු 5කට පසුව. නඩුව නිෂ්ප්‍රභ විය. නමුත්, ව්‍යාපෘතියේ වැඩකටයුතු 2024.09.30 දිනෙන් අවසන් වූ අතර, එය මූල්‍යමය වශයෙන් 2024.12.31 දින අවසන් වූ නිසා මෙම මාර්ගවල සංවර්ධන කටයුතු අවසන් කිරීමට නොහැකි වූ බව කාරුණිකව දන්වමි.

(iii)    ඔව්, ජනතාව පීඩාවට පත්වී තිබෙන බව දන්නවා.

             KL-02 පැකේජයට අදාළව ව්‍යාපෘතිය මඟින් සංවර්ධනය කිරීමට නියමිතව තිබූ මුළු කිලෝමීටර 88.44ක් වූ ප්‍රමාණයෙන් සංවර්ධනය කර ඇත්තේ කිලෝමීටර 34.63ක් පමණක් බවත්, ඉතිරි කිලෝමීටර 53.81ක ප්‍රමාණය සංවර්ධනය කිරීම නොකළ බවත්, එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වී ඇති බවත් දනිමි.

 (ආ) (i) මතුගම මැතිවරණ බලප්‍රදේශයට අයත් මාර්ග 6ක් සහ අගලවත්ත මැතිවරණ බලප්‍රදේශයට අයත් මාර්ග 3ක් KL-02 පැකේජය යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණි. KL-02 පැකේජයේ මාර්ග ලැයිස්තුව ඇමුණුමක් වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඇමුණුම සභාගත* කරමි.

(ii) Olympus Construction (Pvt.) Ltd. සහ Rani Construction (Pvt.) Ltd. (India) හවුල් ව්‍යාපාරය.

(iii)

  • දයා කන්ස්ට්‍රක්ෂන්ස් (ප්‍රයිවෙට්) ලිමිටඩ්
  • රානි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ්
  • එවකට සිටි කොන්ත්‍රාත් ගිවිසුමේ බලයලත් නියෝජිතයා වූයේ ජී.එස්. ජයරත්න මහතා (කළමනාකරණ අධ්‍යක්ෂ)
  • දෙවනුව දයා කන්ස්ට්‍රක්ෂන් වෙනුවෙන් එහි බලයලත් නියෝජිතයා ලෙස නම් කර ඇත්තේ චමින්ද්‍ර ගමගේ මහතාය.

(iv) නඩුව (නඩු අංක HC Civil 193/2020 MR - වාණිජ මහාධිකරණය) 2024.12.18 දින නිෂ්ප්‍රභ විය.

(v) නඩුව නිෂ්ප්‍රභ වීමෙන් පසු කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධන බැඳුම්කරය - Performance Bond එක - සඳහා ලබා ගත් සම්පූර්ණ මුදල භාණ්ඩාගාර තැන්පතු ගිණුමට ප්‍රේෂණයකොට ඇති අතර - භාණ්ඩාගාරයට දීලා තිබෙනවා - එම මුදල් නැවත KL-02 පැකේජය යටතේ යෝජනා වී තිබූ මතුගම සහ අගලවත්ත මැතිවරණ බලප්‍රදේශවලට අදාළ මා‍ර්ග නවයෙහි ඉතිරි සංවර්ධන කටයුතු සඳහා දේශීය අරමුදල් ලෙස යොදා ගැනීමට යෝජිතය.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks