04

E   |     |  

 දිනය: 2025-02-20   පිළිතුර ලබා දී ඇත 

0424/2025: වවුනියාව නගරයට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය: ගැටලු

424/2025

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත වවුනියාව නගරයට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය, වර්ෂ 2010-2011 කාලයේදී ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා කුඹුරු, ගොඩ ඉඩම්, නිවාස සහ ආගමික ස්ථාන අත්පත් කර ගන්නා ලද බවත්;

(ii) ගොවීන් සහ ඉඩම් හිමිකරුවන්ට අගතියක් නොවන අයුරින් මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන, ප්‍රාදේශීය ලේකම් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් 2013.11.05 වැනි දින අත්සන් කළ බවත්;

(iii) අත්පත් කර ගන්නා ලද ඉඩම් වෙනුවට ලබා දුන් විකල්ප ඉඩම්වලට මේ දක්වා බලපත්‍ර, විධිමත් වාරි පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සැකසීම සහ ප්‍රතිසංස්කරණය කිරීම කර නොමැති බවත්;

(iv) අගතියට පත් ගොවි පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛතා පදනම මත ඉහත ජල ව්‍යාපෘතිය යටතේ මේ දක්වා රැකියා ලබාදී නොමැති බවත්;‍

(v) අමුණුවලින් පිටවන අමතර ජලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වලට ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-02-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      මේ වන විට ලබා දී ඇති විකල්ප ඉඩම් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති අතර, සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.  වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් එහි ඉදිරි කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා.

තවද, වාරි පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සැකසීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙනවා. ඒක ඒ ප්‍රදේශයේ ගොවීන් පිළිගෙන තිබෙනවා.

(iv) පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එකඟතාවක් තිබුණා අගතියට පත් වූ ගොවි පවුල්වල සාමාජිකයන් 18දෙනෙකු සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ජාතික  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රැකියා අවස්ථා ලබා දීමට එකඟතාවකට පත්ව ඇති අතර, ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ගිවිසුම සහ අදාළ විස්තර ඇමුණුම 01  යටතේ දක්වා තිබෙනවා.

  නමුත්, එම 18දෙනා බඳවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රාථමික කාණ්ඩය, ඒ කියන්නේ "PL" කාණ්ඩය යටතේ. එහෙත් මෙම තනතුරු සඳහා බාහිරින් බඳවා ගැනීමේ හැකියාවක් කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 02/2020 ප්‍රකාරව නොමැති නිසා, ඒ සඳහා අනුමැතිය ලබා ගන්න කටයුතු කරමින් ඉන්නවා. අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අදාළ පත්වීම් ලබා දීමට පුළුවන්.

ඒ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙන තුරු පුරප්පාඩු පවතින ස්ථාන සඳහා ශ්‍රම කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් බඳවා ගැනීමේදී මෙම පිරිසට ප්‍රමුඛතාව ලබා දීලා කටයුතු කරන්න පුළුවන්.

 

(v) ඔව්. මේ සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ශක්‍යතා අධ්‍යයනයක්  කරලා තිබෙනවා. ඒ ශක්‍යතා අධ්‍යයනය අනුව පේරාරු වැවෙහි වානට වඩා වැඩි උසකින් තමයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් පිහිටා තිබෙන්නේ. එම නිසා තාක්ෂණික කරුණු අනුව අමතර ජලය එම වැව්වලට මුදා හරින්න පුළුවන්කමක් නැහැ.

මීට අදාළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තාව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දන්වා තිබෙනවා. එම වාර්තාවේ පිටපතක් ඇමුණුම 02 වශයෙන් ඉදිරිපත් කරනවා.

 

ඇමුණුම 01 සහ ඇමුණුම 02 මා සභාගත* කරනවා.‍

 

(ආ) මේ අධ්‍යයනයෙන් පස්සේ වාරිමාර්ග දෙපාර්ත‍මේන්තුව විසින් කරන ලද යෝජනාවකට අනුව උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිත කරලා ගොවිජන සංවර්ධන දෙපාර්ත‍මේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්, ඇළ මාර්ග මඟින් එකිනෙකට සම්බන්ධ කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විධියට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් තුනක් ජලය ලබා දීමෙන් පසුව වාන් දැමීම සිදු වෙලා තිබෙනවා.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks