01

E   |     |  

 දිනය: 2025-03-10   පිළිතුර ලබා දී ඇත 

0419/2025: රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා පවරාගත් ඉඩම්: වන්දි

419/2025

ගරු අරුණ පනාගොඩ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී හා ඒවාට වන්දි ගෙවීමේදී පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර තීරණ හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එම ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-10

අසන ලද්දේ

ගරු අරුණ පනාගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i)       රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී හා ඒවාට වන්දි ගෙවීමේදී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමාට එම විස්තර ඇතුළත් සම්පූර්ණ ෆයිල් එකම ලබා දෙන්න පුළුවන්.

එම තොරතුරු මම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නම්.

ඉඩම් හෙක්ටෙයාර 210.1ක් පමණ අත්කර ගැනීම් කටයුතු 2016 වර්ෂයේ ආරම්භ කර ඇත. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන ඉඩම් කැබලි අත්පත් කිරීම 2020 වසර තුළ ආරම්භ කර ඇත. අත්කර ගැනීමට නියමිත ඉඩම් කැබලි සංඛ්‍යාව 2,910කි. ඉන් 576ක් රජයේ ඉඩම් වන අතර, 2,334ක් පෞද්ගලික ඉඩම් වේ.

වන්දි මුදල්, දීමනා සහ කරුණාසහගත දීමනා තීරණය කිරීම, ඉඩම් අත්කර ගැනීමේ පනත සහ අංක 1864/54 දරන 2014 මැයි 30 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති "2013 ඉඩම් අත්කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග" සහ එහි සංශෝධනවලට අනුව සිදු කරනු ලැබේ. එමෙන්ම, විශේෂ කමිටු (සුපර් ලාර්ක්) පවත්වා වන්දි ගෙවීම, 1991/47 හා 2016.11.04 සහ අංක 2012/20 හා 2017.03.29 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් සිදු කරනු ඇත. 

මේ සම්බන්ධව ගන්නා ලද විවිධ අමාත්‍ය මණ්ඩල තීරණත් සමඟ ව්‍යාපෘති කටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් අධිවේගී මාර්ගයට අදාළව අත්කර ගන්නා ලද සීමාව තුළ සිටින මහජනතාවට අහිතකර බලපෑම් ඇති බව පිළිගනී. ඒ අනුව පීඩාවට පත් පාර්ශ්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මහජන ගැටලු ඉදිරිපත් කර ඇත. එම පීඩාව ප්‍රධාන කොටස් හතරකට තිබෙනවා.

1. ඉඩම් පවරා ගැනීමේදී හා අත්කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීමේදී ඉඩම් හිමියන්ට වන්දි ගෙවීම ප්‍රමාද වීම.

2. උද්ධමනය හේතුවෙන් නව නිවාස ඉදිකිරීම් සඳහා වන පිරිවැය ඉහළ යෑම.

3. ආදායම් මාර්ග අහිමි වීම.

4. අඩක් නිම කළ නිවාසවල ඉතිරි වැඩ අවසන් කර ගැනීමට නොහැකි වීම.

(ii) ගැටලු විසඳීම සඳහා කටයුතු කරන ආකාරය ගත්තොත්, 2022දී රුපියල් මිලියන 1,180ක්,  2023දී රුපියල් මිලියන 1,925ක් හා 2024දී රුපියල් මිලියන 2,500ක් වශයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, 2025 වර්ෂයට අතුරු සම්මත ගිණුම මඟින් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇත. අත්කර ගත් ඉඩම් සහ දේපොළ සඳහා ගෙවිය යුතු වන්දි හා දීමනා ගෙවීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, 2024 දෙසැම්බර් 31 දින වන විට වන්දි හා දීමනා වශයෙන් රුපියල් මිලියන 5,098ක මුදලක් ගෙවා අවසන් කර ඇත. මෙයට අමතරව මෙම 2025 වර්ෂය තුළ මේ දක්වා ඉඩම් කැබලි 31ක් සඳහා රුපියල් මිලියන 129.66ක් ගෙවා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks