01

E   |     |  

 දිනය: 2025-02-21   පිළිතුර ලබා දී ඇත 

0417/2025: මත්තේගොඩ නිවාස සංකීර්ණයේ මලාපවහන පද්ධතිය වටා වැටක් ඉදිකිරීම: විස්තර

417/2025

ගරු අරුණ පනාගොඩ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හෝමාගම, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ මලාපවහන පල්දෝරු පද්ධතිය වර්ෂ ගණනාවක සිට අකර්ම‍ණ්‍ය වී ඇති බවත්;

             (ii)      එම පල්දෝරු පද්ධතිය වටා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වනවිට වැටක් ඉදිකරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් වැට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල කොපමණද;

(ii) එහි ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය හා ඉදිකිරීම් අවසන් කළ යුතු දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ සඳහා තෝරා ගෙන ඇති කොන්ත්‍රාත් ආයතනය කවරේද;

(iv) එම කොන්ත්‍රාත් ආයතනය තෝරා ගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;

(v) එම වැට ඉදිකිරීම හේතුවෙන් ජනතාව විසින් වර්ෂ 40ක පමණ කාලයක සිට භාවිතා කරනු ලබන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දන්නේද;

(vi) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-21

අසන ලද්දේ

ගරු අරුණ පනාගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වන්නේ හෝමාගම, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ මලාපවහන පල්දෝරු පද්ධතිය සම්බන්ධයෙන්. එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      මෙම මලාපවහන පිරිපහදු තටාක පද්ධතිය මඟින් මත්තේගොඩ නිවාස සංකීර්ණයේ සහ කලාපුරයේ නිවාසවල අපජලය පිරිපහදු කිරීම සිදු කෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය විසින් දන්වා තිබෙනවා.

                        මෙම තටාක පද්ධතිය වසර 40කටත් වඩා පැරණි වන අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 1998.05.22 දිනැති ලිපිය මඟින් ක්‍රියාත්මක හා නඩත්තු කටයුතු සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පවරා තිබෙනවා. මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ පරාමිතීන්ට අනුකූලව පිරිපහදු කරන අපජලය ක්ලෝනීකරණයෙන් පසුව පරිසරයට මුදාහරින අතර ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙහි තත්ත්ව පරීක්ෂාව නිරන්තරයෙන්ම සිදු කරනවා.

ඒ අනුව මෙම මලාපවහන පද්ධතිය පූර්ණ වශයෙන් අකර්මණ්‍ය වී නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දන්වා තිබෙනවා.

මෙම මලාපවහන පද්ධතියේ යම් කොටස් ප්‍රතිසංස්කරණය කළ යුතු අතර, ඒ සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති බව දන්වා සිටිනවා.

(ii) ඔව්. වැටක් ඉදිකරමින් පවතිනවා.

එම මලාපවහන තටාකය හරහා හා එය වටා ඇති මාර්ගය උපයෝගී කර ගනිමින් ප්‍රදේශවාසීන් ගමන් කිරීම සිදු කරනවා. ඒ වාගේම බර වාහන ගමන් කිරීමත් සිද්ධ කරනවා. එමෙන්ම 2023දී තටාකය තුළට ප්‍රදේශවාසියෙක් වැටිලා මිය ගිහිල්ලා තිබෙනවා. ඒ මිය ගිය පුද්ගලයාගේ පෙණහලු තුළට අපජලය ඇතුළුවීම හේතුවෙන් ඇති වූ ආසාදන තත්ත්වය ඔහුගේ මරණයට හේතු වූ බව මරණ පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වෙලා තිබෙනවා.

මෙම මලාපවහන තටාකය දැනට අවුරුදු 40ක් පමණ පැරණි වන අතර ප්‍රදේශවාසීන් විසින් බර වාහන මඟින් ගමන් කිරීම හේතුවෙන් එහි පැති බැමි දුර්වල වී ඇති අතර, නීති විරෝධී කටයුතු සඳහා සහ වාහන මඟින් අපජලය හා කසළ බැහැර කිරීම සඳහා ද මෙම මලාපවහන තටාකය හා තටාක භූමිය භාවිත කරනු ලබන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටිනවා.

ඒ අනුව මත්තේගොඩ මලාපවහන තටාකය හා එම භූමිය දැනට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් නඩත්තු කරනු ලබනවා. එම මලාපවහන තටාක භූමිය අවට පරිසරයේ නිවාස කිහිපයක් තිබෙනවා. එම ඇතැම් නිවාසවලින් බැහැර කරනු ලබන කසළ බැහැර කිරීමට ද මලාපවහන තටාකය භාවිත කරනු ලබන අතර මණ්ඩලය විසින් දෛනිකව සිදු කරනු ලබන නඩත්තු කටයුතුවලට එමඟින් බාධා සිදු වෙනවා. ඒ අනුව මලාපවහන තටාකය සහ එය පිහිටි භූමිය උපයෝගී කර ගනිමින් ප්‍රදේශවාසීන් ඔවුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යනු ලබන නමුත් යම්කිසි අකටයුත්තක් හෝ ජීවිත හානියක් සිදුවුවහොත් එහි දෝෂාරෝපණය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත එල්ල කරන බැවින් ඒ කටයුතු වැළැක්වීම සඳහා වැටක් ඉදිකරන්න කටයුතු කරලා තිබෙනවා.

(ආ) (i) රුපියල් 1,000,000.00 + 7,100,850.00

Provisional Sum  + සියයට 10ක අමතර වියදම්

(ii) කොන්ත්‍රාත්තුව ආරම්භ කළ දිනය 2024.10.30 වන අතර අවසන් කළ යුතු දිනය 2025.01.12 වන නමුත් 2024.12.12 දින ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත් වන තෙක් හෝමාගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ තීරණයක් අනුව එම ඉදිකිරීම් කටයුතු මේ වනවිට අත්හිටුවා ඇත.

(iii) M/s Meth Construction

261, 10/C1, පංචවත්ත, හිඹුටාන, අංගොඩ.

(iv) ඔව්. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පිළිසැකසුම් අංශයෙහි ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව - RPC-WR -  විසින් නිවැරදි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් කටයුතු කර ඇති බව එම මණ්ඩලය විසින් දන්වා ඇත.

(v) මෙම වැට ඉදිකිරීම හේතුවෙන් තටාක පද්ධතියෙහි පහළ කොටස වටා ඇති මාර්ගය අවහිර වේ.

(vi) මේ සම්බන්ධව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සහ ක්ෂේත්‍ර පරීක්ෂා කිහිපයකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරුණ පනාගොඩ මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ පොලීසිය සහභාගී වී ඇත.

එහිදී අදාළ මාර්ගය සඳහා විකල්ප මාර්ගයක් යෝජනා වූ අතර, එම මාර්ගයේ  ඉදිකිරීම් අවසන් වන තුරු වැට ඉදිකිරීමේදී මාර්ගය අවහිර වන සේ ඉදිකිරීම් අත්හිටුවා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks