බලන්න

04

E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0385/2025: ප්‍රජා ජල ව්‍යාපෘති: රත්නපුර දිස්ත‍්‍රික්කය

385/2025

ගරු වරුණ ලියනගේ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක උග්‍ර පානීය ජල හිඟයක්  පවතින බවත්;‍

             (ii)      ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී ඇති බවත්;

(iii) නිසි ජල සම්පාදන ක්‍රමවේදයන් නොමැති වීමෙන් පානීය ජල හිඟය උග්‍රවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ජල හිඟයට  විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද “විසල් රත්නපුර ජල ව්‍යාපෘතියේ” 2 වන අදියරට අදාළ වැඩ කටයුතු අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;

 

(ii) දෙවන අදියර නිම කිරීමෙන් පසු එමඟින් ආවරණය නොවන ප්‍රදේශවලට ජල පහසුකම් සැපයීම සඳහා නව ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

(iii) රත්නපුර දිස්ත‍්‍රික්කයේ මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රජා ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iv) නව ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i), (ii), (iii)                 

                        සබරගමුව පළාතේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක මුළු ග්‍රාම නිලධාරි වසම් 575ක් තිබෙනවා. එම ග්‍රාම නිලධාරි වසම් 575 අතුරින් ග්‍රාම නිලධාරි වසම් 373ක් සඳහා පූර්ණ සහ අර්ධ වශයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල ආවරණය ලබා දීලා තිබෙනවා. ඒ වාගේම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ජල සම්පාදන ව්‍යාපෘති ගණන 12ක්. ඒ මඟින් ගෘහස්ථ ජල සම්බන්ධතා 87,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රජා මූල ජල සම්පාදන ක්‍රම මඟින් ද සැලකිය යුතු ප්‍රතිශතයකට පානීය ජලය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රජා ජල සම්පාදන ක්‍රම මඟින් දිස්ත්‍රික්කය තුළ මුළු ජනගහනයෙන් සියයට 23කට ජලය සැපයෙනවා. ඒ වාගේම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සියයට 25.7කට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේම ගත්තොත්, මේක සියයට 62ක විතර ප්‍රමාණයක් තිබෙන්නේ. ඒ අනුව බැලුවාම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සියයට 48කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරනවා. මීට අමතරව  විසල් රත්නපුර ජල ව්‍යාපෘතියේ අදියර I යටතේ ජල ව්‍යාපෘති ගණනාවක් වැඩිදියුණු කරලා තිබෙනවා. ඒ අනුව කොලොන්න ජල නළ දිගු කිරීමේ ව්‍යාපෘතිය, කහවත්ත අතිරික්ත ජලය පැල්මඬුල්ලට ගෙන යන ව්‍යාපෘතිය වශයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ කාලය තුළ ක්‍රියාත්මක වෙනවා.

මෙයට අමතරව 2025 - 2029 කාලය  සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සාමූහික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඒ සාමූහික සැලැස්ම යටතේ ඇහැලියගොඩ ජලසම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කරලා තිබෙනවා. එම සැලසුම් පිළිබඳ විස්තර ඇමුණුම 01හි දක්වා තිබෙනවා.

(ආ) (i) "විසල් රත්නපුර ජල ව්‍යාපෘතිය" දෙවන අදියර කියලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත්, විසල් රත්නපුර පළමු අදියර යටතේම බෙදා හැරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. ඒ සඳහා රුපියල් මිලියන 1,528ක් ඇස්තමේන්තුගත කරලා, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. එම ව්‍යාපෘතිය පිළිබඳ විස්තරත් ඇමුණුම 02හි දක්වා තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමනි, එම ව්‍යාපෘතිය මඟින් රත්නපුර සිට පරකඩුව දක්වා - A4 ප්‍රධාන මාර්ගය සහ දෙපස අතුරු මාර්ග, රත්නපුර-මොරගහයට හන්දියේ සිට පානදුර මාර්ගයේ කිලෝමීටර 10ක දුරක් සහ දෙපස අතුරු මාර්ග ආවරණය කිරීමට කටයුතු කරනවා. ‍

එම ව්‍යාපෘතිය මඟින් කිලෝමීටර 178ක බෙදා හැරීමේ ජල නළ පද්ධතියක් එළා නිම කිරීමට යෝජීතයි. එය දැන් ක්‍රියාත්මක වනවා. එමඟින් තවත් පවුල් 7,000කට ආසන්න ප්‍රමාණයකට පානීය ජල අවශ්‍යතාව සපුරා දීමට පුළුවන් වනවා.

(ii)   මම කලින් සඳහන් කළා වාගේ, ඇමුණුම 1 යටතේ සඳහන් වන ජල ව්‍යාපෘති 21ක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. එම ව්‍යාපෘති ආරම්භ කරලා මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට අමතරව 2025-2029 සාමූහික සැලැස්ම යටතේ තවත් නව ජල ව්‍යාපෘති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා.

(iii)   රත්නපුර දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟය පවතින ප්‍රදේශවල, විශේෂයෙන්ම National Water Supply and Drainage Board එකෙන් ජලය සපයන්නේ නැති ප්‍රදේශවල, මේ වන විට ජල ව්‍යාපෘති 21ක් ඉදිකරමින් පවතිනවා.

ඊට අමතරව දැනටමත් පානීය ප්‍රජා ජල ව්‍යාපෘති 490ක් ක්‍රියාත්මක වෙනවා. එමඟින් පවුල් 82,900කට පානීය ජලය ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එම ව්‍යාපෘතිය පිළිබඳ විස්තරත් ඇමුණුම 03හි දක්වා තිබෙනවා.

(iv)     2021දී ආරම්භ කරන ලද "ප්‍රජා ජල අභිමානී" වැඩසටහන යටතේ තුන් අවුරුදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ගැනීම සඳහා වාර්ෂික අය වැයෙන් ලැබෙන ප්‍රතිපාදන අනුව දැනටමත් සැලසුම් කර තිබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ව්‍යාපෘති පිළිබඳ විස්තර මාගේ පිළිතුරෙහි ඇතුළත් වනවා.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks