04

E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0380/2025: ධීවර වරායන් සංවර්ධනය කිරීම සහ එක්දින හා බහුදින ධීවර යාත්‍රා: විස්තර

380/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති ධීවර වරාය සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

           (iii)      ශ්‍රී ලංකාවේ ඇති බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව, මේ වනවිට ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ මේ වනවිට ධීවර කටයුතුවල නිරත නොවන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ශ්‍රී ලංකාවේ ඇති එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව, මේ වනවිට ධීවර කටයුතුවල නිරත වන එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ මේ වනවිට ධීවර කටයුතුවල නිරත නොවන එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

   (v) ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       වරායන් 24කි.

         (ii)

අංකය

සිවිල් වැඩ

 

යාන්ත්‍රික කටයුතු

1

පවතින දියකඩනය, තොටුපළ බැම්ම, බැමි ආදිය ප්‍රතිසංස්කරණය  කිරීම සහ නඩත්තු කිරීම

1

ලීටර් 90/110 ධාරිතාවකින් යුත් ඉන්ධන බෙදා හරින ඒකක 10ක් සහ මිනුම් කෑන් සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය කිරීම සහ නළ මාර්ග එළීම සහ අනෙකුත් ඉදි කිරීම් කටයුතු

2

යෝජිත මායිම් බිත්තිය සහ ඩයමන්ඩ් වැට

2

සියලුම වරායන්හි ඉන්ධන බෙදා හැරීමේ ඒකකය අලුත්වැඩියා කිරීම/ නඩත්තු කිරීම

3

සියලුම වරායවල ජල විද්‍යාත්මක සමීක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම (CAHS)

3

සියලුම වරායන් සඳහා වේග වළක්වන (ජැටියෙහි බෝට්ටු වැදීම වැළැක්වීමට දමා ඇති ටයර්), දම්වැල්, D- විලංගු,           I බෝල්ට්, ටයර් සහ අනෙකුත් නැංගුරම් උපාංග ප්‍රතිසංස්කරණය කිරීම

4

බෝට්ටු අංගනයේ සහ අනෙකුත් ප්‍රදේශවල බිම් සැකසීම

4

සියලුම වරායන් සඳහා කුඩා පරිමාණ වැඩමුළු අයිතම සහ අනෙකුත් අවශ්‍ය උපකරණ මිල දී ගැනීම

5

පවතින ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම

5

LED ෆ්ලෑෂ් ලයිට් සහ කෝබ්රා ලාම්පු මිල දී ගැනීම  පැනල් පුවරු අලුත්වැඩියාව සහ සේවා කිරීම

6

පවතින සනීපාරක්ෂක පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම

6

ගිල්විය හැකි PTO පොම්ප මිල දී ගැනීම,  අලුත්වැඩියා සේවාව සහ නඩත්තුව

7

ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු

7

බීකන් ලාම්පු මිල දී ගැනීම, අලුත්වැඩියා සේවාව සහ නඩත්තුව

 

 

8

සියලුම වාහනවල සැලසුම්ගත අලුත්වැඩියා කටයුතු

යෝජිත ප්‍රතිපාදන - රු.150,349,400.00

 

යෝජිත ප්‍රතිපාදන - රු. 357,594,250.00

 

 (iii) ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව -  5,488

ධීවර කටයුතුවල නිරත නොවන බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව -  182

(වර්ෂයක් ඇතුළත)

(iv) මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව -   929

ධීවර කටයුතු වල නිරත නොවන එක්දින ධීවර යාත්‍රා සංඛ්‍යාව  -    24

(වර්ෂයක් ඇතුළත)

(v) * ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන - 2024

මෙම වැඩසටහන යටතේ ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන එක්දින (IDAY) හා බහුදින (IMUL) ධීවර යාත්‍රා 6,500ක් පමණ ද, ඉන්ධන වශයෙන් භූමිතෙල් භාවිත කරන කුඩා යාත්‍රා (OFRP, MTRB) 32,000ක් පමණ ප්‍රමාණයක් සඳහා "ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාව" ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඉන්ධන වශයෙන් භූමිතෙල් භාවිත කරන ධීවරයින් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15ක් හා මසකට දින 25ක උපරිමයකට යටත්ව රැකියාවේ නිරත වන දින සඳහා පමණක් ලීටරයකට රුපියල් 25ක "ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්" ලබා දීමට යෝජනා වී ඇති අතර, ඒ අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි, සක්‍රියව ධීවර කර්මාන්තයේ නියැළෙන MTRB හා OFRP ධීවර යාත්‍රා හිමිකරුවන් විසින් මිල දී ගන්නා භූමිතෙල් සඳහා දිනකට ලීටර් 15ක උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තයේ යෙදෙන දින 25ක් සඳහා මසකට රුපියල් 9,375ක මුදලක් ප්‍රතිපූරණය කරනු ලබයි.

ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන බහුදින හා එක්දින ධීවර යාත්‍රා හිමියන්  මිලදී ගන්නා එක් ඩීසල් ලීටරයකට රුපියල් 25ක මුදලක් ලැබෙන සේ එම ධීවරයන් සඳහාද "ධීවර කර්මාන්තය  යථා තත්ත්වයට පත්කිරීමේ දීමනාවක්" අදාළ ධීවර යාත්‍රා වර්ගය හා මෙහෙයුම් කරන දින ගණන පදනම්ව ලබාදීමට යෝජනා වී ඇති අතර ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි, සක්‍රියව ධීවර කර්මාන්තයේ නියැළෙන IMUL හා IDAY ධීවර යාත්‍රා සඳහා මිලදී ගන්නා ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් මුදලක් ප්‍රතිපූරණය කරනු ලබයි. එසේ වුවද, එක් ගමන් වාරයක් සඳහා ප්‍රතිලාභ ප්‍රතිපූරණය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය එම යාත්‍රාවේ ඉන්ධන ටැංකි ධාරිතාව ඉක්මවා නොයා යුතු අතර, එක් මාසයක් සඳහා රුපියල් 300,000ක උපරිමයකට යටත්ව මුදල් ප්‍රතිපූරණය කරනු ලබයි.

v ඉන්ධන වශයෙන් භූමිතෙල් භාවිත කරන ධීවර යාත්‍රා වන පිටත එන්ජිම සහිත කුඩා යාත්‍රා (OFRP) හා පාරම්පරික යාන්ත්‍රික යාත්‍රා (MTRB) සඳහා චීන සමූහාණ්ඩු ආධාර යටතේ භූමිතෙල් ලබාදීමේ වැඩසටහන - 2023

පළමු අදියර යටතේ එක් යාත්‍රාවකට ලීටර් 75 බැගින් වෙරළ ආසන්නයේ ක්‍රියාත්මක වන පිටත එන්ජිම සහිත කුඩා යාත්‍රා -OFRP- හා MTRB යාත්‍රා 28,424ක් සඳහා භූමිතෙල් ලීටර් 2,131,800ක් නිකුත්  කරන ලදී.         

දෙවන අදියර යටතේ එක් යාත්‍රාවකට ලීටර් 78 බැගින් OFRP හා MTRB යාත්‍රා 28,108ක් සඳහා භූමිතෙල් ලීටර් 2,192,424ක් නිකුත් කරන ලදී.

v උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ධීවර පවුල් සඳහා චීන සමූහාණ්ඩු ආධාර ය‍ටතේ මත්ස්‍ය දැල් 75,000ක් ලබා දීමේ වැඩසටහන - 2024

චීන සමූහාණ්ඩු ආධාර යටතේ ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 500ක වටිනාකමකින් යුත් මත්ස්‍ය දැල් 75,000ක් පරිත්‍යාග කර ඇති අතර, එම මත්ස්‍ය දැල් යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය හා කල්මුණේ යන දිස්ත්‍රික්ක තුළ සක්‍රිය ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර කාර්මිකයන් 12,500ක් සඳහා බෙදා දීමට කටයුතු කරනු ලබයි.

v වෙරළාශ්‍රිත මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය වැඩි කිරීම සඳහා මත්ස්‍ය ඇටවුම් යෙදවීමේ ව්‍යාපෘතිය

ධීවර ක්ෂේත්‍රයට‍ අදාළව වෙරළාසන්න සමුද්‍රීය පරසර පද්ධතියේ සමුද්‍රීය ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා වෙරළාසන්න මුහුදු පත්ලෙහි කෘත්‍රිම උපස්ථර මත මත්ස්‍ය අභිජනන ස්ථාන ඇති කිරීම තුළින් වෙරළට ආසන්නයේ මත්ස්‍ය සම්පත ඉහළ නැංවීම අරමුණු කරගෙන 2021, 2022, 2023 සහ 2024 වර්ෂවල භාවිතයෙන් ඉවත්කළ බහුදින ධීවර යාත්‍රා, බස්රථ සැකිලි හා මත්ස්‍ය එ්ක රාශි උපකරණ විශාල ප්‍රමාණයක් පරිසරයට හානියක් නොවන සේ ආසන්නයේ තෝරාගත් ස්ථානවල තැන්පත් කර කෘත්‍රිම උපස්ථර ස්ථාපනය කරන ලදී.

v Bulbous bows සවි කිරීම, වැඩිදියුණු කරන ලද ශීතාගාර පහසුකම් හා රුවල හඳුන්වාදීම හා ගැඹුරු මරුවැල් පන්නය මඟින් ඇස්ගෙඩි කෙලවල්ලන් අස්වැන්න නෙළා ගැනීමේ නියමු ව්‍යාපෘතිය

බහුදින ධීවර යාත්‍රාවල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය මත බහුදින යාත්‍රාවකට bulbous bows සවි කිරීම, වැඩිදියුණු කරන ලද ශීතාගාර පහසුකම් හා රුවල හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

ගැඹුරු මුහුදේ වඩාත් ගැඹුරට මරුවැල් පන්නය යොදා ගනිමින් ඇස්ගෙඩි කෙලවල්ලන් අස්වැන්න නෙළා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක කරන ලදී.

v බහුදින යාත්‍රා සඳහා යාත්‍රා ලියාපදිංචිය, මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම, යාත්‍රා පිටත්වීම හා ආපසු පැමිණීම අධීක්ෂණය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීම තුළින් ධීවර ප්‍රජාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

බහුදින යාත්‍රා සඳහා VMS උපකරණ සවිකිරීම තුළින් සුළි කුණාටු වැනි හදිසි ආපදා අවස්ථාවකදී හා යාත්‍රාවක් අනතුරට ලක්වූ අවස්ථාවකදී එම යාත්‍රාව පිහිටි ස්ථානය VMS උපකරණය මඟින් හඳුනාගෙන යාත්‍රාව හා ගැනියන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී උපයෝගි කර ගැනීමට කටයුතු කිරීම.

v සෑම ධීවරයෙකුම මුහුදු ගමන සඳහා සෞඛ්‍යමය වශයෙන් සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා සෑම ධීවර වරායක් ආශ්‍රිතව පිහිටා ඇති රජයේ රෝහල් මඟින් සියලු ධීවරයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කර වෛද්‍ය සහතිකයක් ලබා දීම.

 ධීවර රැකියාවේ යෙදෙන ධීවර යාත්‍රාවක ධීවරයන් අතුරින් යම් ධීවරයෙකු හට හදිසියේ ඇතිවන සෞඛ්‍යමය ගැටලුවකදී හදිසි ප්‍රථමාධාර ලබා දීම සඳහා සියලු ධීවරයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ලබා දී සහතිකයක් නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය බලකාය හා සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලබයි.

v කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ස්ථානගත කර ඇති තත්ත්ව පාලන අංශයේ ඒකකයක් පිහිටුවීමෙන් හා එහි සේවා පුළුල් කිරීමෙන් මත්ස්‍ය නිෂ්පාදන අපනයනයේදී අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කිරීම.

v වැඩි ප්‍රතිලාභ සහිත ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමේ වැඩ පිළිවෙළක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා ඒකාබද්ධව නුදුරු දිනයකදී ක්‍රියාත්මක කිරීම.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks