පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
342/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමන්තුරේ, කල්මුණේ, පොතුවිල්, එරාවුර් සහ මරුදමුනේ යන ප්‍රදේශවල Privelth Global (Pvt.) Ltd. නමින් මූල්‍ය ආයතනයක් 2014.02.05 වනවිට පවත්වාගෙන ගිය බවත්;
(ii) එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන ලද අහමඩ් ෂෙරීම් මුහම්මුදු ෂිහාබ් (ෂිහාබ් ෂෙරීම්) සහ ෆාතිමා ෆර්සානා මාකාර් යන අය විසින් පුද්ගලයන් 1400 දෙනෙකුගෙන් රුපියල් කෝටි 170කට අධික මුදලක් වංචා කර ඇති බවත්;
(iii) පසුගිය දෙසැම්බර් මස 26 වන දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට හරවා එවා ඇති මෙම පුද්ගලයන් මේ වනවිට අතුරුදහන්ව සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත අ(ii)හි සඳහන් අය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(ii) ඔවුන් වංචා කර ඇති මුදල් නැවත අයිතිකරුවන්ට ලබා දීමට පියවර ගන්නේද;
(iii) ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) මෙවැනි මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් සිදුකර විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-10
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 ජූලි මාසයේදී Privelth Global (Pvt.) Limited යන ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි 3ක් එරාවූර් සහ නින්දවූර් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වගන්තිය යටතේ ඇති බලතල අනුව ඉහත ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර, එම විමර්ශනය අතරතුර මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2021.07.28 දින එවන ලද වාර්තාවට අනුව Privelth Global (Pvt.) Limited යන ආයතනය කල්මුණේ, මරුදමුනේ, සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රදේශවල ක්‍රියාත්මක වී ඇත.
(ii) ඉහත සඳහන් විමර්ශනය අතරතුර, විමර්ශන කණ්ඩායම විසින් Privelth Global (Pvt.) Limited යන ආයතනයේ කොළඹ 03 පිහිටි ප්‍රධාන කාර්යාලය පරීක්ෂා කළ අතර එහිදී එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන අහමඩ් සරීම් මොහමඩ් ෂිහාබ් යන අයගෙන් 2020.09.15 දින ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා Privelth Global (Pvt.) Limited යන ආයතනය විසින් පුද්ගලයන්ගෙන් ණය ලබා ගැනීම් සහ එම ණය පියවීම් සිදු කළ බවත්, ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට එලෙස ලබා ගත් ණය මුදල් රුපියල් මිලියන 800ක් පමණ පියවීමට තිබූ බවත් ය. තවද, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2021.07.28 දින එවන ලද වාර්තාව අනුව Privelth Global (Pvt.) Limited යන ආයතනය පුද්ගලයන් 1,150 දෙනෙකුගෙන් රුපියල් මිලියන 1,356ක් ලබා ගෙන ඇත.
(iii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විමර්ශනය සිදු කරගෙන යන අතරතුර Privelth Global (Pvt.) Limited යන ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන අහමඩ් සරීම් මොහමඩ් ෂිහාබ් සහ ෆාතිමා ෆර්සානා මාකාර් යන අය ඉන්දියාවට පලා යෑමට උත්සාහ කිරීමේදී ඉන්දියානු වෙරළාරක්ෂක නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වී තිබේ. ඉන්පසුව ශ්‍රී ලංකා පොලීසිය වෙතින් සිදු කරන ලද විමසීමට අනුව, Privelth Global (Pvt.) Limited ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ලද, අහමඩ් සරීම් මොහමඩ් ෂිහාබ් යන අය සහ ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෆර්සානා මාකාර් යන අය ඉන්දියාවෙන් හරවා එවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය වී ඇත.
(ආ) (i) Privelth Global (Pvt.) Limited යන ආයතනය සම්බන්ධයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සිදු කරන ලද විමර්ශනයෙන් පසුව එම ආයතනය මුදල් ව්‍යාපාර පනතට පටහැනිව මුදල් ව්‍යාපාර සිදු කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චය කළහොත්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 64 වන වගන්තිය ප්‍රකාරව, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සලකා බැලීම සඳහා ගරු නීතිපතිතුමා වෙත යොමු කර තිබේ.
(ii) ඉහත (ආ) (i)හි සඳහන් ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ගරු නීතිපතිතුමා විසින් මහාධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 56(1) වගන්තිය ප්‍රකාරව, තැන්පත්කරුවන්ද ඇතුළුව එකී ආයතනයේ සියලු බාහිර පාර්ශ්වකරුවන්ගේ වගකීම් පියවීමේ යන්ත්‍රණයකට අදාළ කටයුතු අධිකරණමය ක්‍රියාවලියකදී තීරණය විය යුතුය.
(iii) ඉහත (ආ) (i) සහ (ii)හි සඳහන් ක්‍රියාවලිය අනුගමනය කරයි.
(iv) Privelth Global (Pvt.) Limited යන ආයතනය, බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සඳහා 1988 අංක 30 දරන බැංකු (සංශෝධන) පනත යටතේ හෝ මහ ජනතාවගෙන් තැන්පතු භාර ගනිමින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නිරත වීම සඳහා 2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ හෝ කල්බදු මූල්‍ය ව්‍යාපාරයන්හි නිරත වීම සඳහා 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගෙන ඇති ආයතනයක් හෝ උක්ත පනත්වල ප්‍රතිපාදනවලින් නිදහස් කළ ආයතනයක් හෝ නොවන අතර, එවන් ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය හෝ සුපරීක්ෂණය කිරීම සිදු නොකරයි. කෙසේ නමුත්, මුදල් ව්‍යාපාර පනතට පටහැනිව අනවසර ලෙස මහ ජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා ආයතන හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් සිදු කර එම පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks