01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

0314/2025: සමෘද්ධි බැංකුව සහ සමෘද්ධි මහා සංගම්: වත්කම්

314/2024

ගරු රවී කරුණානායක මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සමෘද්ධි බැංකුව සතු වත්කම්වල වර්තමාන වටිනාකම කොපමණද; 

             (ii)      ශ්‍රී ලංකාවේ තිබෙන සමෘද්ධි බැංකු සංඛ්‍යාව සහ සමෘද්ධි මහා සංගම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) සියලු සමෘද්ධි මහා සංගම් සතු වත්කම්වල වර්තමාන වටිනාකම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සමෘද්ධි බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වන්නේද;      

(ii) නොඑසේ නම්, එය එකී අධීක්ෂණයෙන් බැහැර කිරීමට හේතු කවරේද;

(iii) සමෘද්ධි බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා කවුරුන්ද;

            යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) පසුගිය වසර 10 තුළ සමෘද්ධි බැංකුව ලැබූ ලාභ/අලාභ වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) පසුගිය වසර 10 තුළ සමෘද්ධි බැංකුවේ ශේෂ පත්‍ර අගය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) සමෘද්ධි බැංකුවේ කොටස් හිමියන් කවුරුන්ද;

(iv) සමෘද්ධි බැංකුව විසින් ගලපන ලද පරිදි, තැන්පතුකරුවන්ට ගෙවන පොලී අනුපාතය සහ ණය ගැණුම්කරුවන්ට ණය දීමේ පොලී අනුපාතය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සියලු සමෘද්ධි ප්‍රජා මූල බැංකු සතු වත්කම්වල වටිනාකම 2025.06.30 වන දිනට රුපියල් 316,654,917,651.49කි.               

              (ii)      සමෘද්ධි ප්‍රජා මූල බැංකු සංඛ්‍යාව - 1,097කි.

                        ගරු කථානායකතුමනි, එතුමා ප්‍රශ්නයේ ඊළඟ කොටසින් අහන්නේ, සමෘද්ධි මහා සංගම් සංඛ්‍යාව ගැන. දැනට සමෘද්ධි මහා සංගම් නැහැ. නමුත් 2013 දිවි නැගුම පනත සම්මත කිරීමට ප්‍රථම සමෘද්ධි මහා සංගම් තිබුණා. දැනට ඒවා හඳුන්වන්නේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සංගම් කියලා. මම ඒ ඇසුරෙන් පිළිතුර ලබා දෙන්නම්.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති සංඛ්‍යාව - 335කි.

(සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති 2014.01.02ට පෙර සමෘද්ධි මහා සංගම් ලෙස හඳුන්වන ලදී.)

(iii) සියලු සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති (මහා සංගම්) සතු වත්කම්වල වටිනාකම 2025.06.30 වන දිනට රුපියල් 196,268,268,199.44කි.

(ආ) (i) නැත.

2013 අංක 1 දරන සමෘද්ධි පනතේ 35 වන වගන්තිය අනුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වන්නේ නැහැ.

(ii) ඒකට හේතු තමයි, 2013 අංක 1 දරන සමෘද්ධි  පනතේ විධිවිධාන.

2013 අංක 1 දරන දිවි නැගුම පනතේ විධිවිධාන අනුව සඳහන්ව ඇත්තේ, 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති සම්බන්ධයෙන් අදාළ කර නොගත යුතු බවයි.

(iii) සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1,097කුත්, සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති 335කුත් තමයි තිබෙන්නේ.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයෙකු නොමැත. සමෘද්ධි බැංකුව සඳහා පාලක මණ්ඩලයක් ඇති අතර, එහි සභාපතිවරයා වනුයේ ප්‍රජාවගෙන් පත් වූ ප්‍රජා නායකයෙකි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා ප්‍රජාමූල බැංකු සමිති සඳහා මූල්‍ය කටයුතු නියාමනය හා අධීක්ෂණය සඳහා සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා ප්‍රජාමූල බැංකු සමිති කළමනාකරණ මණ්ඩලයක් ඇති අතර, එම කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ නිල බලයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ය.

(ඇ) (i) පසුගිය වසර 10ම details වෙන වෙනම තිබෙනවා. මම ඒවා ප්‍රකාශ කරන්නද, නැත්නම් සභාගත කරන්නද?

 

2023 - රුපියල් 23,273,115,267.49

2024 - රුපියල් 11,053,228,810.49

              (ii)      සමෘද්ධි බැංකු වෙන වෙනම 1,097ක් තිබෙන නිසා consolidated balance sheet එකක් අපි හදන්නේ නැහැ. මොකද, 2013 අංක 1 දරන සමෘද්ධි පනතට අනුව, එක් එක් සමෘද්ධි ප්‍රජාමූල බැංකු අවිච්ඡින්න බැංකු විධියට තමයි හඳුන්වන්නේ; separate banks විධියට තමයි හඳුන්වන්නේ. ඒ නිසා පසුගිය වසර 10 පුරාවටම consolidated balance sheet එකක් හදලා නැහැ. ඒ වුණාට අපි කියලා තිබෙනවා, 2025 වසරේදී හදන්න කියලා. පසුගිය කාලයේ ඒවා හදලා නැති නිසා පසුගිය වසර 10 තුළ ඒවා දෙන්න අපහසුයි. නමුත්, 2025 වසරේ සිට ඒවා සකස් කරන්න කියලා අපි කියා තිබෙනවා. නමුත්, පසුගිය අවුරුදු 10 තුළ ඒවා හදලා නැහැ.

‍ (iii) සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් රුපියල් 500ක් වටිනා කොටසක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත් සියලු සාමාජිකයන් සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ කොටස් හිමියන් වේ.

(iv) සමෘද්ධි බැංකු තැන්පතු වර්ග 8ක් තිබෙනවා. ඒ තැන්පතු වර්ග 8ට ලබාදෙන පොලිය සියයට 5 සහ සියයට 3 වශයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විධියට, සාමාජික තැන්පතු සඳහා සියයට 3ක පොලියකුත් ළමා තැන්පතු සඳහා සියයට 5ක පොලියකුත් ආදී වශයෙන් තමයි වෙනස් වෙන්නේ. ඊට අමතරව ස්ථාවර තැන්පතු සඳහා දැනට ගෙවනු ලබන පොලිය  මාස 3 සිට මාස 36 දක්වා වෙන්නේ. මාස 3ට පොලී ප්‍රතිශතය 6යි. මාස 6ට පොලී ප්‍රතිශතය 6.5යි. මාස 12ට පොලී ප්‍රතිශතය 7.5යි. මාස 24ට පොලී ප්‍රතිශතය  7.75යි. මාස 36ට පොලී ප්‍රතිශතය  8යි.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks