01

E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0311/2025: විදේශගත ශ්‍රමිකයන්: 2015 සිට ප්‍රේෂණ

311/2024

ගරු රවී කරුණානායක මහතා‚— විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       2024.12.31 වන විට සහ මේ වන විට විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     2015 වර්ෂයේ සිට මේ දක්වා —

(i) විදේශ රැකියා හරහා ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් වලින් කොපමණද;

(ii) මෙම ප්‍රේෂණ ලැබී ඇත්තේ කුමන රටවල සිටද;

(iii) පැහැර හරින ලද වැඩ කොන්ත්‍රාත්තු හේතුවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණික සේවකයින් සංඛ්‍යාව කොපමණද;

    (iv) මෙම සේවකයින් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

(v) විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් සඳහා වන රක්ෂණ ක්‍රමයෙන් උපයාගත් ආදායම කොපමණද;

(vi) මෙම යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා වැය කරන ලද මුදල කොපමණද;

යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත අනුව, 2024 වර්ෂයේ එක් එක් රටවල් සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබා ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ  කාණ්ඩ වශයෙන් තොරතුරු ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කරමි.

           කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත අනුව 2025.01.01 වන දින සිට 2025.07.02 වන දින දක්වා එක් එක් රටවල් සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබා ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු කාණ්ඩ වශයෙන් ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරමි.

දීර්ග පිළිතුරු සහිත ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

2025.02.25 දින වන විට විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,345,801ක් වන අතර එම තොරතුරු ඇමුණුම 03 වශයෙන් ඉදිරිපත් කරමි.

(ආ)  (i) ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව 2015 වර්ෂයේ සිට 2025 මැයි දක්වා විදේශ රැකියා හරහා ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක් වන අතර ශ්‍රී ලංකා රුපියල් බිලියන 13,946කි.

(ii)  මේ සම්බන්ධව තොරතුරු පවත්වාගනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වන බැවින් මේ පිළිබඳ විස්තර ඔවුන්ගෙන් ලබාගන්නේ නම් මැනවි.

(iii) පැහැර හරින ලද වැඩ කොන්ත්‍රාත්තු හේතුවෙන් කාර්යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත මෙරටට ගෙන්වා ඇති ශ්‍රමිකයන් සම්බන්ධ තොරතුරු ඇමුණුම 04 වශයෙන් ඉදිරිපත් කරමි.

             (iv)      කොන්ත්‍රාත්තු කඩවීමක් සිදු වුවද, පිටුවහල් කිරීමක් සිදු වී නොමැත.

              (v)      විදේශගත වන රැකියාලාභීන්ගෙන් රක්ෂණ ක්‍රමයක් සඳහා මුදල් එකතු කිරීමක් සිදු නොකරන අතර ලියාපදිංචි ගාස්තු මුදලක් පමණක් අයකරනු ලබයි. එම ලියාපදිංචියට අදාළව නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දෙයි. මෙම රක්ෂණාවරණයට අදාළව රක්ෂණ සමාගමෙන් කාර්යාංශය වෙත කොමිස් ආදායමක් ලැබෙන අතර 2015 වසරේ සිට 2024.12.31 දින දක්වා රුපියල් 296,292,806.00ක මුදලක් රක්ෂණාවරණයට අදාළව ලැබී ඇත.

(vi) මෙම රක්ෂණ ක්‍රමවේදය යටතේ විදේශගත සංක්‍රමණික සේවකයන් සඳහා වන්දි ලෙස 2015 වසරේ සිට 2024.12.31 දක්වා රුපියල් 803,132,052.00ක මුදලක් ගෙවීම් කර ඇත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks