පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
262/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව මේ වනවිට එළඹ ඇති ගිවිසුම සභාගත කරන්නේද;
(ii) වර්තමාන රජය බලයට පත්වීමට පෙර එම ගිවිසුම සංශෝධනය කර ඇති අවස්ථා සංඛ්‍යාව කොපමණද;
(iii) එම සංශෝධන කවරේද;
(iv) නව රජය බලයට පත් වීමෙන් පසු ඉහත ගිවිසුම සංශෝධනය කර තිබේද;
(v) එසේ නම්, එම සංශෝධන කවරේද;
(vi) එම සංශෝධන සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද;
(vii) එම සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි විරහිතව පිළිගෙන තිබේද;
(viii) නොඑසේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන සංශෝධන කවරේද;
(ix) රජය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන හෝ යෝජනා අතරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගන්නා ලද සංශෝධන හෝ යෝජනා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ පිළිබඳ තොරතුරු දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ආරම්භයේදී සහ ඉන් පසුව සිදු කරන ලද සමාලෝචනවලදී, ශ්‍රී ලංකා බලධාරින් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ප්‍රතිපත්ති පිළිබඳව විස්තර ඇතුළත් වාර්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවට අදාළ වෙබ් පිටුවේ දක්වා ඇත.
මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ වාර්තා වෙත ඇමුණුම 01හි සඳහන් වෙබ් සබැඳි හරහා ප්‍රවේශ විය හැක.
(ii) 2024 සැප්තැම්බර් මසට පෙර, 2023 දෙසැම්බර් හා 2024 ජූනි මස දෙවරක් සමාලෝචනය කර ඇත. (පළමු සමාලෝචනය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී සහ දෙවන සමාලෝචනය 2024 වසරේ ජූනි මාසයේදී).
(iii) 2024 වසරේ සැප්තැම්බර් මස 23වන දින අප බලයට පත් වනවිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළව පහත සඳහන් ආදායම් යෝජනා පිළිබඳව පසුගිය රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබුණි.
1. ආරෝපිත කුලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම.
2. සේවා අපනයනය මත සියයට 30ක සංස්ථාපිත ආදායම් බද්දක් පැනවීම.
3. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ අගය මත බද්ද මඟින් ආදේශ කිරීම.
4. පුද්ගලික ආදායම් බද්ද මත බදු රහිත සීමාවන් (Tax free threshold) හෝ ආදායම් කාණ්ඩ ඉහළ නැංවීමට අදාළ යෝජනා මෙම යෝජනාවලිය තුළ අන්තර්ගත නොවුණු අතර, අත්‍යවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අදාළ යෝජනා ද මෙම යෝජනාවලිය තුළ ඉදිරිපත් කර නොතිබුණි.
5. 2025 වසරේ අප්‍රේල් මස වනවිට සරල කරන ලද එකතු කළ අගය මත බද්ද (SVAT) ඉවත් කිරීම.
මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇමුණුම 01හි සඳහන් වෙබ් සබැඳි හරහා ලබා ගත හැක.
(iv) 2024 සැප්තැම්බර් මසට පසු සමාලෝචන දෙකක් සාර්ථකව සම්පූර්ණ කරන ලද අතර ඒවා පිළිවෙළින් 2025 මාර්තු මාසයේදී සහ 2025 ජූලි මාසයේදීය.
(v) 2024 වසරේ සැප්තැම්බර් මස 23වන දින අපගේ රජය බලයට පත්වීමෙන් අනතුරුව, අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය ආරම්භ කරන ලද අතර 2024 වසරේ නොවැම්බර් මස 22වන දින කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සාර්ථකව අවසන් කළෙමු. ඒ අනුව, මෙම ක්‍රියාවලිය ඔස්සේ ජනතාවට පහත සඳහන් සහන සැලසීමට අප කටයුතු කළෙමු.
1. පුද්ගලික ආදායම් බද්ද සඳහා අදාළ වන බදු රහිත සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීම.
2. සියයට 6ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් 500,000 සිට රුපියල් 1,000,000 දක්වා ඉහළ නැංවීම. මෙම සංශෝධනය ඔස්සේ විවිධ ආදායම් මට්ටම්වලට අදාළ පුද්ගලයන් වෙත ලැබෙන ආදායම් බදු බර අඩුවීම. විස්තර ඇමුණුම 02** මඟින් දක්වා ඇත.
3. අපගේ දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිපදවන නැවුම් කිරීවලින් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා වන එකතු කළ අගය මත බද්ද ඉවත් කිරීම.
4. දේපළ සඳහා නිසි තක්සේරු පදනමක් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කරන තුරු, ආරෝපිත කුලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවිම සිදු නොකිරීම.
5. පසුගිය රජය විසින් එකඟ වූ සියයට 30ක සේවා අපනයනය සඳහා වන සංස්ථාපිත බද්ද සියයට 15 දක්වා අඩු කිරීම.
6. රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීම. බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු ජාලය පුළුල් කිරීමේ අරමුණින් මෙය සිදු කරනු ලැබේ. කෙසේ වුවද, විශ්‍රාමිකයින් වැනි මාසිකව රුපියල් 150,000ක බදු සීමාවට වඩා අඩු ආදායමක් ඇති සහ සියයට 10 බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයන්හට තමන්ගෙන් රඳවා තබා ගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබා ගැනීමේ බදු අනුපාතයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එවැනි පුද්ගලයන්ට කඩිනමින් උපදෙස් ලබා දීමට අවශ්‍ය යන්ත්‍රණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාව සහ සියලු පළාත්වල පවතින ශාඛා තුළ සැකසීමට නියමිතය.
7. සියලුම වාහන ආනයනය සඳහා ඇති සියලු සීමා ඉවත් කිරීම.
මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇමුණුම 01හි සඳහන් වෙබ් සබැඳි හරහා ලබා ගත හැක.
(vi) ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන සංශෝධන සඳහා අවසන් අනුමැතිය ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
(vii) ඉහත (අ) (v) පිළිතුර අදාළ වේ.
(viii) ඉහත (අ) (v) පිළිතුර අදාළ වේ.
(ix) ඉහත (අ) (v) පිළිතුර අදාළ වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks