04

E   |     |  

 දිනය: 2025-01-23   පිළිතුර ලබා දී ඇත 

0254/2025: යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: විස්තර

----

අසන ලද දිනය

2025-01-23

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල සාධනීය වෙනස්කම් සිදු කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, ඒ අනුව ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් යෝග්‍ය වන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අපට පෙනී ගිය විධියට, පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබුණු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හරියට වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. එම නිසා අපි එය සමාලෝචනය කරලා, ඒ අනුව 2026 වෙනකොට අපේ ප්‍රතිසංස්කරණ දීර්ඝ කාලීන අරමුණත් එක්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

(ii) සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයයන්වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමක් විනා ඉවත් කිරීමක් කරන්න අපට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අපි දකින විධියට මෙම විෂයයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි; ඒවා විෂය මාලාවට අන්තර්ගත විය යුතුයි.

(iii) මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් අපි සූදානම් වෙමින් ඉන්නවා. වි‍ශේෂයෙන්ම අපි ඒ සඳහා අංශ තුනකින් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ගුරු පුහුණුව සඳහා විශේෂ අවධානයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි කාරණය තමයි, පාසල් සංවිධානය වීම සහ පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් හරහා පාසල් අතර තිබෙන පරතරය අඩු කිරීම.

ඒ වාගේම තමයි, පාසල් විෂය අන්තර්ගතය පිළිබඳව අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව, පාසලකට ඇතුළත් වන දරුවෙකුට ලෝකය විවෘත කරන අධ්‍යාපන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් පාසල් පරිසරයක් බිහි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.

(iv) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මඟින් විෂය මාලා, ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් විසින් ඉගෙනුම ලබන විෂයයන් සංඛ්‍යාව, ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා - ඒකේ තිබෙන අන්තර්ගතයත්, ඒ assessment ක්‍රියාවලිය තුළත් - ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වන පරිදි තමයි අපි එම සංශෝධනය කරන්නේ. ඒ කෙරෙහි අවධානය යොමු කර තමයි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ විෂය මාලා පරිවර්තනය සඳහා සැලසුම් සකස් කරගෙන යන්නේ. අපි අපේක්ෂා කරන්නේ, සැලසුම් කරන්නේ විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ළමුන්ට බරක් නොවන ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දෙන්නයි.

(ආ) (i) ජාතික අය වැයෙන් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වෙන් වන මුදලින් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත්, පළාත් පාසල් සඳහා ජාතික මුදල් කොමිෂන් සභාව මඟින් පළාත් පාලන අමාත්‍යාංශය වෙතත්, පළාත් පාලන අමාත්‍යාංශය මඟින් පළාත් සභාව වෙතත් මුදල් වෙන් කරනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, පාසල් පාදක ඉගෙනුම් ප්‍රදානය -SBLEG- කියන පදනම යටතේ තමයි පාසල්වලට මුදල් වෙන්නේ. එසේම තමයි 2023දීත් සිද්ධ වුණේ. 2023 වර්ෂයේදී ලැබුණු සීමිත ප්‍රතිපාදන බෙදා හැරීම පිණිස ශිෂ්‍ය සංඛ්‍යාව 2,000ට අඩු ජාතික පාසල් 105ක් හා ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ තෝරා ගනු ලැබූ පාසල් 45ක් සඳහා මූල්‍ය ප්‍රදාන ලබා දුන්නා. ඒ අනුව 2023 වර්ෂයේදී ජාතික පාසල් 150ක් සඳහා මූල්‍ය ප්‍රදාන ලබා දෙනු ලැබූ අතර එම වර්ෂයේදී මූල්‍ය ප්‍රදාන ලබා දීමට නොහැකි වූ ළමුන් 2,000ට වැඩි ජාතික පාසල් 146ක් සඳහා එක් පාසලකට රුපියල් මිලියනය බැගින් පාසල්වල සුළු අලුත්වැඩියා හා නඩත්තු සඳහාත්, සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා ලබා දීමට තීරණය කරනු ලැබූ අතර එවකට තිබුණු සීමිත මුදල් ප්‍රමාණය සලකා බලමින් පාසල් 146න්, 122ක් සඳහා රුපියල් මිලියනය බැගින් 2024 වර්ෂයේදී ලබා දුන්නා. එහි ඉතිරි ජාතික පාසල් 24 සඳහා වන මූල්‍ය ප්‍රදාන, 2025 වර්ෂයේ මුල් කාර්තුව තුළදී ලබා දීමට කටයුතු සැලසුම් කර ති‍බෙනවා. තවද, 2025 වර්ෂයේදී නැවත වරක් සියලුම ජාතික පාසල් සඳහා පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානය ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එසේම මෙම චක්‍රලේඛය අනුගමනය කරමින් එක් එක් පළාත්වලට වෙන් වන මුදල් ප්‍රමාණය අනුව සෑම පළාත් පාසලකටම පාසල් පාදක මූල්‍ය ප්‍රදාන ලබාදීම සඳහා කටයුතු කරන ලෙසට පළාත්වලට උපදෙස් ලබා දී තිබෙනවා.‍

(ii) අධ්‍යාපනයේ ඇති තරගකාරිත්වය අඩු කිරීම සඳහා දැනටමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැලසුම් කර ඇති අතර, එය 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා. එසේම මේ යටතේ විෂය මාලා සහ විභාග ක්‍රමය ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම මඟින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින දැඩි තරගකාරිත්වයකින් යුතු අධ්‍යාපන ක්‍රමය වෙනස් වන අතර එමඟින් අධ්‍යාපන ක්‍රමය නව දිශානතියකට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. ඒ වාගේම තරගකාරිත්වයට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන්නේ පාසල් අතර තිබෙන විෂමතාවයි. ඒ විෂමතාවට ආමන්ත්‍රණය කිරීම තුළිනුත් මේ තරගකාරිත්වය අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

(iii) ගරු කථානායකතුමනි, ඇත්තටම අපි විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා විතරක් නොවෙයි, පුළුල් කරන්නේ. ඒක ක්ෂේත්‍රයක් හැටියට දැකලා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය තමයි අපේ ආණ්ඩුව අනුගමනය කරන්නේ. ඒ අතරින් මූලිකවම 2025 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලවල දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමයි. ආරම්භ කරපු පීඨවලට අවශ්‍ය පහසුකම් නැති වීම, ඒවායේ අලුත් පාඨමාලා පිළිබඳ ‍ගුණාත්මකභාවය - quality එක - පිළිබඳ ප්‍රශ්න මතු වෙලා තිබෙනවා. කථිකාචාර්යවරුන්ගේ පුරප්පාඩු තිබීම සහ වැඩි වෙලා තිබෙන පීඨ හා coursesවලට ළමුන් ඇතුළත් කරගෙන තිබුණාට ඒ ශිෂ්‍යයන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් ඒ හා සමානවම වැඩි වෙලා නැහැ. උදාහරණයක් හැටියට, hostelsවල විශාල අඩුවක් තිබෙනවා. ඒ පිළිබඳව අපේ මැදිහත්වීමක් සිදු වෙනවා. ඒ වාගේම අපේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ මෙයයි. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඒ කටයුතු කරන අතර තාක්ෂණ හා වෘත්තීය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. රැකියාවලට පුහුණු කරන වෘත්තීයමය පුහුණුවක් ලබා දීම ඍජුවම ආර්ථික වර්ධනයට සම්බන්ධ වෙන ක්ෂේත්‍රයක්. ඒ සඳහා විශාල මැදිහත්වීමක් සිදු කරමින් අවස්ථා පුළුල් කරන්න අපි සැලසුම් කරගෙන යනවා.

(ඇ)  අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks