E   |     |  

 දිනය: 2026-04-21   පිළිතුර ලබා දී ඇත 

0232/2026: විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයකු පත් කිරීම: ප්‍රගතිය

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)      නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශ්වයට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි ‘විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයකු’ පත් කිරීමට ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පොරොන්දුවී තිබේද;

(ii)  එසේ නම්, එම පොරොන්දු ප්‍රකාරව පත් කර ඇති ඔම්බුඩ්ස්මන්වරයාගේ නම සහ කාර්යාල ලිපිනය කවරේද;

(iii)  මෙතෙක්  එම පත්කිරීම සිදුකර නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-04-21

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      ඔව්.

              (ii)      දක්වා ඇති ලෙස ඔම්බුඩ්ස්මන්වරයෙකු මේ අවස්ථාවේදී පත් කොට නොමැත.

            (iii)      ''පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'' රජ‍යේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම යන උපායමාර්ගික දිශානතිය සඳහා ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් යෝජනා කර ඇත. ඒ යටතේ මේ වන විට, අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදය තුරන් කිරීමේ යාන්‍ත්‍රණයක් ලෙස රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීමේ ස්වාධීන යන්ත්‍රණයක් ලෙස ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවල දී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

එසේම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔම්බුඩ්ස්මන්වර‍යකු පත් කිරීමට යෝජනා කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ අගතියට පත්වන පාර්ශ්වයට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් මෙම ක්‍රියාකාරකම් සියල්ල එකිනෙකට අන්තර් සම්බන්ධිත වේ. එබැවින්, එක් පොරොන්දුවකට අදාළව යම් පියවරක් ක්‍රියාත්මක කිරීමේදී එය සිදු කරනු ලබන ආකාරය මත අනෙකුත් පොරොන්දු මඟින් බලාපොරොත්තු වනු ලබන අවශ්‍යතාවන්ට සහ කර්තව්‍යයන්ට බලපෑමක් සිදු විය හැකිය.

එවැනි අවස්ථාවකදී එවැනි බලපෑමට ලක් වන, එහෙත් ක්‍රියාත්මක කර නොමැති පොරොන්දු සම්බන්ධයෙන් පියවර ගැනීමට පෙර, එහි අවශ්‍යතාව පිළිබඳව නැවත තක්සේරුවක් සිදු කළ යුතු වේ.

කරුණු එසේ හෙයින්, මෙම අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව සහ රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කුමන ආකාරයෙන් සිදු කරන්නේද යන්න පිළිබඳව රජය විසින් තීරණය කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමේදී මෙම ප්‍රශ්නයේ දක්වා ඇති ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවත් ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල හා කර්තව්‍යයන් පිළිබඳවත් නැවත සලකා බැලිය යුතු වන හෙයින් මෙතෙක් එම පත් කිරීම සිදු කිරීමට රජය තීරණය කොට නොමැත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-06-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks