E   |     |  

 දිනය: 2025-04-24   පිළිතුර ලබා දී ඇත 

0222/2025: තරුණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම සඳහා වන සංවර්ධන බැංකුව: පිහිටුවීම

222/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)       තරුණ ව්‍යවසායකයන්ට ඇප ඉදිරිපත් කිරීමකින් තොරව ණය ලබාගැනීම සඳහා, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පිහිටුවීමට පොරාන්දු වූ සංවර්ධන බැංකුව මේ වනතෙක් පිහිටුවා නොමැති බව දන්නේද;

(ii) එකී මැතිවරණ පොරොන්දුව ඉටු කිරීම ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-24

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. එසේ වුවත්, ඇපකර මත පදනම් වූ ණය දීම වෙනුවට තරුණ ව්‍යවසායකයින් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මුදල් ප්‍රවාහ පදනම් කරගත් ණය දීම විශේෂයෙන් රජයේ බැංකු, එනම් ලංකා බැංකු, මහජන බැංකු මඟින් දැනටමත් සිදු වේ.

              (ii)      සුරැකුමක් ලබා ගනිමින් ණය ලබා දීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව ණය ලබා දීමේ ක්‍රම දෙකක් තිබේ.

                        1.        පවත්නා බැංකු සම්මතයන්ට අනුකූලව තරුණ ව්‍යවසායකයින්ට සුරැකුමක් රහිතව මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබා දීම පිළිබඳව බැංකුවලට උපදෙස් ලබා දීම.

මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා උපදෙස් නිකුත් කර ඇත.

2. සුරැකුමක් ලබාගත යුතු ණය සඳහා ණය ඇපකර ලබා දීම.

රජයට තනි පුද්ගලයින් ලබාගන්නා ණය සඳහා ණය ඇපකර නිකුත් කළ නොහැකි බැවින් සීමාසහිත ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) ස්ථාපිත කර ඇත. ණය අවශ්‍ය නමුත් ඒ සඳහා අවශ්‍ය සුරැකුම් ලබා දීමට නොහැකි ව්‍යවසායකයින්ට සීමාසහිත ජාතික ණය ඇපකර ආයතනය වෙතින් ණය ඇපකර සහතිකයක් ලබාගෙන එය වලංගු සුරැකුමක් ලෙස සලකා ණය ලබා ගත හැකි වේ.

සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හිතකර මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීම වන අතර, සුරැකුම් මත පදනම් වූ ණය දීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම් වූ ණය ලබා දීම ද එක් අපේක්ෂාවකි. එය දිගුකාලීන ක්‍රියාවලියක් වන අතර ආර්ථික තිරසරභාවය සහ පවත්වාගෙන යාම පිළිබඳ රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූල විය යුතුය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණු සහිතව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට යෝජනා කර ඇත. එහි ආරම්භක පියවරක් ලෙස, 2025 අයවැය මඟින් සීමාසහිත ජාතික ණය ඇපකර ආයතනය හි සහාය ඇතිව, සංවර්ධන බැංකු ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා පවතින රාජ්‍ය බැංකු තුළ නව පරිපාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයින්ගේ සංවර්ධන බැංකුවක් පිහිටුවීමට පියවර ගනු ලැබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks