E   |     |  

 දිනය: 2025-06-19   පිළිතුර ලබා දී ඇත 

0215/2025: 2015 සිට දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන්: විස්තර

215/2024

ගරු රෝහණ බංඩාර මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ඊ.එස්. වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මේ වනවිට ඒ සඳහා යම් බාහිර පාර්ශ්වයක් මැදිහත් වී ඇති බව දන්නේද;

  (iii) ඒ හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත් වී ඇති බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-06-19

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඊ.එස්. නමින් දකුණු කොරියාවේ විදේශ ශ්‍රමිකයන් වෙත වීසා ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන අතර, ඍතුමය රැකියා සඳහා දකුණු කොරියාවේ රැකියා ලබා දෙනු ලබන්නේ ඊ-එයිට් වීසා - E-8 visa - ක්‍රමය මඟිනි.

                        මේ වන විට ඊ-එයිට් වීසා - E-8 visa - ක්‍රමය යටතේ පහත සඳහන් උප කාණ්ඩයන් යටතේ වීසා ලබා දීම සිදුවේ.

ඒ අනුව,

1. E-8-1 (කෘෂිකාර්මික) - ප්‍රාන්ත රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අනුව ලබා දේ.

2. E-8-2 (කෘෂිකාර්මික) - F-6 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියානු ජාතිකයකු සමඟ විවාහ වූ විදේශිකයකුගේ ළඟම ඥාතියකුට ලබා දේ.

3. E-8-3 (ධීවර අංශය) - ප්‍රාන්ත රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අනුව ලබා දේ.

4. E-8-4 (ධීවර අංශය) F-6 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියානු ජාතිකයකු සමඟ විවාහ වූ විදේශිකයකුගේ ළඟම ඥාතියකුට ලබා දේ.

තානාපති කාර්යාලයේ තහවුරුව අනුව E-8-2 සහ E-8-4 රැකියා කාණ්ඩ සඳහා කාර්යාංශයේ ස්වයං ලියාපදිංචි කිරීම් සිදු කරනු ලබයි. මේ සඳහා කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. (අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා 73/2025-M-05)

ඒ අනුව 2025 වසරේදී E-8 වීසා කාණ්ඩය යටතේ තිදෙනෙකු ස්වයං මාර්ගයෙන් Sri Lanka Bureau of Foreign Employmentහි ලියාපදිංචිය ලබා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත. 

(ii) ඔව්.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොගෙන කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා කටුනායක ගුවන් තොටුපළින් පිටත්වීමට පැමිණි රැකියාලාභින් 07දෙනෙකු කාර්යාංශ නිලධාරින් විසින් 2024.09.22 දින හරවා එවීමට කටයුතු කර ඇත.

මෙම රැකියාලාභීන් විසින් මෙම රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන Sejong World (Pvt.) Ltd. (බලපත්‍ර අංක 3625) ආයතනය වෙත ලබා දී තිබූ රුපියල් 7,172,400ක මුදලක් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B/13761/24 මඟින් ඔවුන් වෙත නැවත ලබා දීමට කටයුතු කර ඇති අතර, Sejong World (Pvt.) Ltd.හි අදාළ බලපත්‍රය කාර්යාංශය විසින් අත්හිටුවා අත.

තවද, දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා පෞද්ගලික අංශය මඟින් බඳවා ගැනීම් සිදු කළ නොහැක.

 

(iii) නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් භාවිත කර වීසා ලබා ගැනීමක් වාර්තා වී ඇත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණ පවත්වයි.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks