E   |     |  

 දිනය: 2025-04-11   පිළිතුර ලබා දී ඇත 

0156/2025: 2024 නොවැම්බර් මාසයේ උතුරු-නැ‍ඟෙනහිර ප්‍රදේශවල පැවති මහ විරු සැමරුම්: විස්තර

156/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024 නොවැම්බර් මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය, වෙනත් සංවිධානයක්, පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් උතුරු-නැගෙනහිර යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සිහි කරමින් මහ විරු සැමරුම් පවත්වා තිබේද;

(ii) එසේ නම්, ඒවා පවත්වන ලද පාර්ශ්වයන් කවරේද;

(iii) ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබේද;

(iv) එම සැමරුම් පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත්වී තිබේද;

(v) ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තහනම් කර ඇති සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ එවැනි සැමරුම් පැවැත්වීමේ හැකියාවක් තිබේද;

(vi) එම සැමරුම් පැවැත්වීම නැවැත්වීම සඳහා ගන්නා ලද පියවර කවරේද;

(vii) තහනම් සංවිධානයක සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් රජය වගකීම් භාර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-11

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       උතුරු පළාත තුළ යුද්ධයේ දී මියගිය ඥාතීන් සිහිකිරීමේ සැමරුම් උත්සව 212ක් සහ නැ‍ඟෙනහිර පළාත තුළ එවැනි සැමරුම් 07ක් පවත්වා ඇත.

 

                    (ii)      ඇමුණුම  01 හි දක්වා ඇත.

 

 

(iii)     නැත.

(iv)      බුද්ධි වාර්තා මඟින් ‍‍පොලිස් ස්ථාන දැනුවත් වී ඇත.

(v)       2011.08.29 දිනැති අංක 1721/2 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයේ 2 වන වගන්තිය මඟින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශ කර ඇත.

කිසිම තැනැත්තෙකු විසින්, එල්ටීටීඊ සංවිධානයේ හෝ එම සංවිධානය නියෝජනය කරන හෝ එම සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන වෙනත් යම් සංවිධානයක හෝ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධිත හෝ සලකනු ලබන හෝ සම්බන්ධිත බවට සාධාරණ ලෙස සැක කරනු ලබන යම් සංවිධානයක එම ගැසට් පත්‍රයේ 3 (අ) සිට (ක) දක්වා සඳහන් දෙයක් සිදු කරන්නේ නම් එය වරදක් වන නමුත් එසේ නොවන මියගිය පුද්ගලයන් සිහි කිරීමේ සැමරුම් උත්සව පැවැත්වීමට බාධාවක් නොමැත.

(vi) උතුරු පළාත තුළ 2024 වර්ෂයේ මිය ගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා සැමරුම් 212ක් සිදු කර ඇති අතර, එයින් සැමරුම් 07ක පමණක් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය විය හැකි ආකාරයේ යම් යම් කටයුතු සිදු කර තිබූ බව නිරීක්ෂණය වී ඇත. එම සැමරුම් උත්සව පිළිබඳව කිලිනොච්චිය, පේදුරුතුඩුව සහ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන, එම සිද්ධීන් 07 සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කර, මේ වනවිට ගොනු 03ක් නීතිපති ‍උපදෙස් සඳහා යොමු කර ඇති අතර, අනෙක් සිද්ධීන් 04 සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරමින් පවතී.

නැ‍ඟෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හා ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් විසින් 2024 නොවැම්බර් මාසයේ යුද සමයේ මියගිය පුද්ගලයින් සිහි කිරීමට කටයුතු කරන බවට බුද්ධි තොරතුරු වාර්තා විය. ඒ අනුව, මෙම උත්සව සංවිධානය කරනු ලබන පුද්ගලයින් විසින් එල්ටීටීඊ සංවිධානය පිළිබඳව බෙදුම්වාදී අදහස් සමාජගත කර එම සංවිධානය නැවත ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ පුද්ගලයින්ට විරුද්ධව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වන වගන්තියට අනුව හා 2011.08.29 දිනැති අංක 1721/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ වගන්ති 03 (ඇ) සහ 03(ඈ) යටතේ අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නැ‍ඟෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරන ලදී.

(vii) තහනම් සංවිධානයක නීතිවිරෝධී සැමරුම් උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබන අතර, එහිදී අනාවරණය වන කරුණු මත නෛතික ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබයි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks