පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
120/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) චීනයේ කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණන වාර්තාවක් නිකුත් කර තිබෙන බව දන්නේද;
(ii) එම විගණන වාර්තාව අනුව චීනයේ කාබනික පොහොර ආනයනය කිරීම හේතුවෙන් සිදුවී ඇති මූල්‍යමය අලාභය කොපමණද;
(iii) එම විගණන වාර්තාව මඟින් ලබාදී ඇති නිර්දේශ කවරේද;
(iv) එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-06
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) කොළඹ වාණිජ මහාධිකරණ නඩු අංක CHC/213/21/MR හා CHC/214/21/MR දරන නඩුකර යටතේ 2022.01.03 දින එළඹි සමථ කොන්දේසි ප්‍රකාරව, අත්තිකාරමක් ලෙස ඇමෙරිකානු ඩොලර් 6,873,975ක් ගෙවා ඇත.
(iii) 01). අදාළ සුරක්ෂණයන් කල් ඉකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වග කිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගැනීම.
02). ගිවිසුමේ කොන්දේසි හා 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකි ජීවානුහරණය නොකළ, මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායන වර්ගයක් නොමැති බැක්ටීරියා සහිත පොහොර තොගයක් ලංකාවට නැව්ගත කිරීමට ක්‍රියා කිරීම, 2020/2021 මහ කන්නයේදී වී වගාවට අවශ්‍ය පොහොර ගිවිසුම් ප්‍රකාරව ලබා නොදී පාඩුවක් සිදු කිරීම, නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන ශ්‍රී ලංකා රුපියල් 1,382,720,494ක මුදලක් ලබා ගැනීම හා සමථය ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නෛතිකව කටයුතු කිරීම.
03). ශ්‍රී ලංකාවේ නීති රීති ප්‍රකාරව හා ගිවිසුම්වලට අනුකූලව ක්‍රියා නොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමට කටයුතු කිරීම.
(iv) කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදනය සම්බන්ධව 2022 අගෝස්තු 26 දින නිකුත් කරන ලද SPR/2022/04 දරන විශේෂ විගණන වාර්තාවේ නිර්දේශවලට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ගේ සභාපතිත්වයෙන් යුතුව සෙසු සාමාජිකයන් ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) සහ පශු සම්පත් අංශයේ නීති නිලධාරි ඇතුළත් කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විසින් පත් කරන ලදී. විගණන වාර්තාවේ අදාළ කොටස ඇමුණුම 01 ලෙස දක්වා ඇත. එකී කමිටුවේ නිර්දේශ 2024.02.14 දින, රජයේ විගණන කාර්යාලය වෙත අමාත්‍යාංශ ලේකම් විසින් දැනුම් දී ඇත. එම ලිපිය ඇමුණුම 02 ලෙස දක්වා ඇත.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/2161/323/030-IX වූ "කාබනික පොහොර ආනයනය කිරීමට අදාළව සීමාසහිත ලංකා පොහොර සමාගම/ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ක්වින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහ සමාගම අතර පවත්නා ආරවුල නිරාකරණය කිරීම" යන මැයෙන් කෘෂිකර්ම ඇමතිතුමා ඉදිරිපත් කළ 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය - (අමප අංක 21/1453/323/030-IV) පිළිබඳව වූ 2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අදාළව එම රැස්වීමේදී සභාගත කරන ලද කරුණු සමඟ සලකා බලන ලදුව, අදාළ සමාගම් අතර පවතින ආරාවුල සුහදශීලි එකඟතාවක් මත නිරාකරණය කර ගැනීමට 2021.12.13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, නියම කර ඇත. අමාත්‍ය මණ්ඩල සන්දේශය ඇමුණුම 03 ලෙස දක්වා ඇත.
• 2021.12.10 දිනැති ලිපියෙහි අවසන් පූර්ව ඡේදයෙහි සඳහන් (1) සිට (4) දක්වා වන කරුණු මත පදනම්ව සමාගම් අතර පවතින ආරාවුල සුහදශීලි එකඟතාවක් මත නිරාකරණය කර ගැනීම.
• පොහොර සම්බන්ධයෙන් ඉදිරියේදී පැන නැඟිය හැකි මේ හා සමාන ආකාරයේ ආරාවුල් වළක්වා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම.
• අදාළ ආරාවුල නිරාකරණය කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇති වන මූල්‍ය බැඳීම් මහා භාණ්ඩාගාරය විසින් දැරීම.
එබැවින් මෙම කරුණට අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසමින් මිත්‍රශීලි එකඟතාවකින් විසඳා ගැනීම සඳහා වන වඩාත් යෝග්‍ය යෝජනා, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු ඇමතිතුමා වෙත නියම කිරීමට 2022 සැප්තැම්බර් 05වන දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. (එකී අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 04 වශයෙන් නම් කර ඇත.)
ඇමුණුම් 01, 02, 03, 04 ද, පසුබිම් වාර්තාව සහ එහි සඳහන් ඇමුණුම 05 ද සභාගත* කරනවා.
ඒ අනුව, ඉහත කී 2021.12.13 හා 2022 සැප්තැම්බර් 13වන දින ලබා දෙන ලද අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව මෙම ප්‍රසම්පාදනයට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීම, මිත්‍රශීලි එකඟතාවක් මත, විසඳා ගැනීමට අවශ්‍ය සාකච්ඡා අදාළ සියලු පාර්ශ්ව සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කරනු ඇත. එසේම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ ප්‍රකාරව පහත සඳහන් පියවර ගැනීම සිදු කර ඇත.
නිර්දේශ:
01. නිලධාරින් විසින් කාර්යසාධන බැඳුම්කර සම්බන්ධයෙන් නිසි කලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බැවින්, ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බව විගණකාධිපතිතුමා වෙත දැනුම් දීම සිදු කර ඇත.
02. රජයේ පොහොර සමාගම් සහ චීන සමාගම අතර කාබනික පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලිය මේ වනතෙක් අවසන් වී නොමැති බැවින් තවදුරටත් මිත්‍රශීලිව දෙරට අතර එකඟතාවකින් මෙම ගැටලුව විසඳා ගත යුතු බව අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇති බැවින් එසේ කටයුතු කිරීම.
03. මිත්‍රශීලි එකඟතාවකින් මෙම ගැටලුව දෙරට අතර විසඳා ගත යුතුය යන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හා 2022.01.03 දින සමථයට එළැඹි සමථ කොන්දේසි ප්‍රකාරව මෙතෙක් අවසන් වී නැති මෙම පොහොර ආනයන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇණහිටීමේ තත්ත්වයට පත් විය හැකි බැවින් සහ එමඟින් දෙරට අතර පවතින මිත්‍රශීලි සබඳතාවට ඉදිරියේදී ගැටලුවක් ඇති විය හැකි හෙයින් උක්ත සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත නොකිරීම.
තවද, මේ වන විට කාබනික පොහොර ප්‍රසම්පාදනයට අදාළව 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනත යටතේ විමර්ශනයක් ආරම්භකොට පවත්වාගෙන යන බැවින්, එකී විමර්ශනය අවසානයේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සිදු කෙරෙනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks