පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
119/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සීනි සඳහා පනවා තිබූ බද්ද අඩු කිරීමට එවකට පැවති රජය තීරණය කරන ලද දිනය කවරේද;
(ii) එම තීරණය ගැනීමට බලපාන ලද සාධක කවරේද;
(iii) සීනි සඳහා පනවා තිබූ බද්ද අඩු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන ලද සමාගම් කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් තීරණය හේතුවෙන් අහිමිවූ බදු ආදායම කොපමණද;
(v) එම සීනි බදු වංචාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-15
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020.10.13 දිනැති අංක 2197/12 දරන ගැසට් නිවේදනය (ඇමුණුම 01) මඟින් 2020.10.14 දින සිට සීනි ආනයනය මත වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කර ඇත.
(ii) එම තීරණය ගැනීම සම්බන්ධයෙන් එවකට ජනාධිපති ලේකම් විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද 2020.10.13 දිනැති ලිපියට (ඇමුණුම 02) අනුව සඳහන් වනුයේ එවකට පැවැති ජීවන වියදම අඩු කිරීමේ සහනයක් ලෙස භාණ්ඩ වර්ග 4ක් සඳහා වන බදු ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව, සීනි, පරිප්පු, ටින් මාළු සහ ලොකු ලූනු ආනයනය මත වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ශත 25 දක්වා - නාමික බදු අගයක් ලෙස - අඩු කිරීමට කටයුතු කර ඇත.
(iii) එම සමාගම්වල නම් ඇමුණුම 03 මඟින් දක්වා ඇත.
ඇමුණුම 03
1. පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම
2. පෑලියගොඩ ට්‍රේඩින් කම්පැනි
3. අම්රෝ සුගර්
4. ග්ලෝබල් ට්‍රේඩින් ඇන්ඩ් කම්පැනි
5. විල්සන් ට්‍රේඩින් කම්පැනි
6. ආර්.ජී. බ්‍රදර්ස්
7. වුඩ්ලන්ඩ් ඇන්ඩ් කම්පැනි
8. කාර්ගිලිස් ෆුඩ්ස් කම්පැනි
9. වී.ඩී. හෝල්ඩින්ග්ස් ඇන්ඩ් කොමොඩිටිස්
(iv) මේ සම්බන්ධයෙන් වූ 2022 මාර්තු 23 දිනැති විගණන වාර්තාව අනුව 2020.10.14 දින සිට 2021.02.28 දින දක්වා කාලය තුළ ආනයනය කරන ලද සීනි ප්‍රමාණය (සුදු සීනි මෙට්‍රික් ටොන් 277,715 සහ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 59,234) වන මෙට්‍රික් ටොන් 336,949 සඳහා ශත 25 බැගින් බද්දක් අය කර ගැනීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 16.76ක්.
(v) සීනි බදු අඩු කිරීම පිළිබඳව රජයේ විගණකාධිපති විසින් විශේෂ විගණන වාර්තාවක් 2022 මාර්තු මස 23 දිනයෙන් නිකුත් කරලා තිබෙනවා. ඒ විගණන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් 2022 ජූනි මස 21වන දින පැවැති පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් කරන්න මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට නියෝගයක් නිකුත් කරලා තිබෙනවා.
2022 ජූලි මස 12වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට පොලිස්පතිවරයා මඟින්, මුදල් අමාත්‍යාංශය විසින් භාර දීලා තිබෙනවා. ඒ පිළිබඳව පරීක්ෂා කර බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 02 දිනැතිව, නැවතත් මේ පිළිබඳව වෝහාරික විගණනයක් කිරීමට විගණකාධිපති මඟින් කටයුතු කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා. (ඇමුණුම 04) ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව විගණකාධිපති වෙත 2025 ජනවාරි 21 දිනැතිව යොමු කර තිබෙනවා.
මෙයට පිළිතුරක් විධියට 2025 මාර්තු 07 දින විගණකාධිපති විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරන්න නම්, මෙම කරුණට අදාළ පාර්ශ්වයන්ගෙන් අදාළ තොරතුරු හා සාක්ෂි ලබා ගැනීමේ හැකියාවක් ජාතික විගණන කාර්යාලයට නොමැති බවත්, ඒ අදාළ තොරතුරු සහ සාක්ෂි ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බවත්, ජාතික විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කරලා තිබෙන විගණන වාර්තාව පදනම් කරගෙන ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරන්න ඕනෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් සඳහන් කරලා, ඒ අනුව කටයුතු කරන්න කියලා ජාතික විගණන කාර්යාලය විසින් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. (ඇමුණුම 05)
ඊට අමතරව මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන විධියට සීනි බදු අඩු කිරීමෙන් පසු සීනි ආනයනකරුවන් ලබා ගත්ත ලාභය මත, අදාළ තක්සේරු වර්ෂ මත පදනම්ව ඒ ආදායම තක්සේරු කරලා ආදායම් බදු අය කර ගන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කර තිබෙනවා. (ඇමුණුම 06)
(ආ) පැන නොනඟී.
ඇමුණුම් 01, 02, 04, 05 සහ 06 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2026-02-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks