01

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0093/2025: සහල් තොග පවත්වා ගැනීම: ගත් පියවර

93/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මේ වනවිට වෙළඳපළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව පිළිගන්නේද;

             (ii)      එසේ නම්, ඊට හේතු කවරේද;

           (iii)      පරිභෝජනයට ප්‍රමාණවත් සහල් තොග මේ වනවිට රට තුළ තිබේද;

(iv) ප්‍රධාන වී මෝල් හිමියන් සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන බව පිළිගන්නේද;

(v) වී ගොවියාටත්, සහල් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පරිදි සහල් තොග වෙළඳපළට නිකුත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      උග්‍ර සහල් හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැත.

              (ii)      අදාළ නොවේ.

              (iii)      ප්‍රමාණවත් සහල් තොග පවතින බව වාර්තා වී ඇත.

              (iv)      වෙළෙඳ පොළ තුළ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් දක්නට ලැබෙන අතර, ඉන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් වෙළෙඳ පොළ තුළ වැඩි ප්‍රමාණයක් මෙහෙයවීමේ කටයුතු සිදු කරන බව නිරීක්ෂණය වේ.

               (v)      වර්තමාන රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වනුයේ දේශීය වී ගොවියාටත්, සහල් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පරිදි ගුණත්වයෙන් ඉහළ සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමයි. ඒ සඳහා මාගේ අමාත්‍යාංශය මඟින් අනෙකුත් අදාළ රේඛීය අමාත්‍යාංශ හා ආයතන මෙන්ම පෞද්ගලික අංශය සමඟද නිරන්තරයෙන් කටයුතු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ යටතේ,

රට තුළ සහල් හිඟයක් ඇති නොවී පවත්වාගෙන යාම පිළිබඳව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නිරන්තරව සාකච්ඡා කරනු ලබන අතර, 2025.04.01 දින පැවති 06 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේදී තීරණය කළ පරිදි ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් කර්මාන්ත සඳහා කැඩුණු සහල්ද, පාරිභෝගික අවශ්‍යතාව සඳහා කැකුළු (සුදු සහ රතු), සම්බා හා කීරි සම්බා සහල්ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීම සඳහා උපරිම තොග හා සිල්ලර මිලක් නියම කිරීම.

(අංක 2414/02 හා 2024.12.09 දිනැති අති විශේෂිත ගැසට් පත්‍රය හා අංක 2414/04 හා 2024.12.09 දිනැති අති විශේෂිත ගැසට් පත්‍රය)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අළෙවි කරන සිල්ලර වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ප්‍රධාන සහල් මෝල් හිමියන්ගේ වී මිලදී ගැනීම්, සහල් නිෂ්පාදනය කිරීම් හා වෙළෙඳ පොළට නිකුත් කිරීම් පිළිබඳ වාර්තා දෛනිකව සකස් කර නිකුත් කරනු ලබන අතරම, ප්‍රධාන සහල් නිෂ්පාදන දිස්ත්‍රික්කයන්හි සහල් ගබඩා ලියාපදිංචිකොට ඒවායේ ගබඩා කර ඇති වී පිළිබඳ තොරතුරුද ලබා ගැනීම තුළින් සහල් වෙළෙඳ පොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කටයුතු කරනු ලබයි.

ලංකා සතොස ආයතනය විසින් සියලු වර්ගයේ සහල් උපරිම සිල්ලර මිලට අළෙවි කිරීමට කටයුතු කරනු ලබන අතර, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ආයතනය විසින් ඉදිරියේදී තොග වෙළෙඳාමට ප්‍රවිෂ්ටවීමටද කටයුතු කරනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks