01

E   |     |  

 දිනය: 2025-03-05   පිළිතුර ලබා දී ඇත 

0091/2025: ප්‍රමිතියෙන් තොර පොල්තෙල්: වෙළෙඳ පොළට නිකුත් කිරීම වැළැක්වීම

91/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ඇති බවට හඳුනාගෙන තිබේද;

             (ii)        එසේ නම්, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන ආකාරය කවරේද;

 (iii) ඒ සඳහා භාවිතා කරනු ලබන උපක්‍රම කවරේද;

(iv) ඒවා වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(v) උසස් ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් ‍නොවීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුඩා හා මධ්‍ය පරිමාණ පොල්තෙල් මෝල් හිමිකරුවන් මුහුණ දෙන ගැටලු කවරේද;

(ii) එම ගැටලු සඳහා දෙනු ලබන විසඳුම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළඳ පොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද වෙළඳපොළ සාම්පල පරීක්ෂා කිරීමේදී දී හඳුනා ගෙන ඇත.

              (ii)      බොහෝ අවස්ථාවලදී මෙසේ ප්‍රමිතියෙන් තොර පොල් තෙල්  දේශීය නිෂ්පාදකයන් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළඳපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයන් සිතා මතාම නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් නිසි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදන කටයුතු සිදුකර පොල් තෙල් වෙළඳපොළට නිකුත් කරයි.

(iii) (1) සමහර කර්මාන්තකරුවන් විසින් කුරුටු තෙල්, පිරිපහදු කළ වරක් භාවිත කරන ලද තෙල්, ආනයනික තෙල් සහ වෙනත් තෙල් වර්ග මිශ්‍ර කරමින් ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන සකස් කරමින් පොල් තෙල් ලෙස වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත වාර්තා වී ඇත.

(2) පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලියේ දී නිසි නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය නොකිරීම මඟින් පොල් තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව ගැටලු ඇති වේ. උදාහරණයක් වශයෙන් ගෘහාශ්‍රිත සහ සුළු පරිමාණ කර්මාන්ත තුළ පොල් තෙල් නිෂ්පාදනය කිරීමේ දී පොල් කැබලි වියළීම සඳහා වියලන උඳුන් භාවිත නොකරයි. මේ හේතුවෙන් බොහෝ අවස්ථාවල දී පොල් කැබලි නියමිත පරිදි වියළීමට ලක් නොවීම හේතුවෙන් මේවායේ පුස් ඇති විය හැකි අතර එමඟින් පොල් තෙල්වල ඇෆලටොක්සින් මට්ටම ඉහළ යා හැකියි.

(3) පොල් කැබලි ඇඹරීමට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් එම යන්ත්‍රෝපකරණ තුළ සිර වූ පොල් කැබලි කාලයත් සමඟ පුස්කෑමට ලක්වීම හේතුවෙන් පොල් තෙල්වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවයට තර්ජනයක් ඇති විය හැකිය.

(4) පොල් කැබලි නිසි පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් මීයන්, සුනඛයන්, බළලුන් සහ පක්ෂීන් වැනි සතුන්ගේ අපද්‍රව්‍ය මිශ්‍ර වීම සිදුවන අතර එය ද ගුණාත්මකභාවයට තර්ජනයකි.

(5) වෙළෙන්දන් විසින් පොල් තෙල් සිල්ලරට අළෙවි කිරීමේදී, පොල් තෙල් බැරල් වශයෙන් මිලදී ගන්නා අතර, ඒවායේ තෙල් හිස් වූ පසු එම බැරල් නැවත සෝදා පිරිසිදු කිරීමක් නොකර භාවිතයට ගන්නා බැවින් එහි ඉතිරි වන පොල් තෙල්වල ඇෆලටොක්සින් වර්ධනය වී තිබුණහොත් අලුතින් එකතු කරන පොල් තෙල්වලටද එම විස එකතු වේ.

(6) පොල් තෙල් ඇසුරුමේ හෝ බහලුවේ අනිවාර්යයෙන් සටහන් කළ යුතු තොරතුරු නොමැතිව අළෙවියට තැබීම මඟින් එම පොල් තෙල්වල නිෂ්පාදකයාගේ නම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, සොයා ගැනීමට ඉතා අපහසු අතර, වෙළෙඳපොළ වැටලීම් සහ සාම්පල පරීක්ෂාවේ දී අප විසින් තත්ත්වයෙන් බාල පොල් තෙල් සොයා ගන්නා ලද වුවද, ඒවායේ සැබෑ නිෂ්පාදකයා සොයා ගැනීම ඉතාමත් අපහසු වේ.

(7) භාවිත කර ඉවත් කරන ලද පොල් තෙල් නැවත රසායනික ද්‍රව්‍ය දමා පිරිපහදුකර විකිණීම සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳවද වාර්තා වී ඇත.

(iv) (1) 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ පොල් තෙල් බාල කිරීම වැළැක්වීම සහ පොල් තෙල් විකිණීමේ දී එම නිෂ්පාදන බහාලන බහලුමේ තිබිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් ගැසට් පත්‍ර 2ක් නිකුත් කිරීම.

(2) පොල් සංවර්ධන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පොල් තෙල්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම.

(3) ලද පැමිණිලි මත හෝ අධිකාරිය විසින්ම සිදු කරන කාලීන වෙළෙඳ පොළ වැටලීම් සහ සාම්පල පරීක්ෂාවන් තමයි මේක නවත්වන්න කරනු ලබන උපක්‍රම විධියට තිබෙන්නේ.

      (v) (1) බොහෝ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ප්‍රමිතීන් හා රෙගුලාසිවලට අනුගත නොවී තම නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම.

(2) අනාරක්ෂිත ඇසුරුම් හා ගබඩා කිරීමේ ක්‍රමවේද (බැරල් ලෙස පොල්තෙල් වෙළෙඳ පොළේ අළෙවි කිරීමට ඇති අවස්ථා හේතුවෙන් බහලුමේ අනිවාර්යයෙන් සටහන් කළ යුතු තොරතුරු නොමැතිව හෝ වංචනිකව සඳහන් කරමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේ හැකියාව)

(3) පොල්තෙල් කර්මාන්තකරුවන්ට නිෂ්පාදනයේදී පොල්තෙල්වල ගුණාත්මකභාවය අඩු විය හැකි අවස්ථා සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති වීම.

(4) සුළු හා ගෘහස්ථ කර්මාන්තකරුවන්ට  අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය පහසුකම් සහ යන්ත්‍රෝපකරණවල ඇති හිඟය.

(ආ) (i) කුඩා හා මධ්‍ය පරිමාණ පොල්තෙල් මෝල් හිමිකරුවන්හට පහත ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැකි බව නිරීක්ෂණය කළ හැක.

  • අමුද්‍රව්‍ය හිඟය,  අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ගුණාත්මක බීජ පැළ සඳහා සීමිත ප්‍රවේශය වැනි සාධක පොල් නිෂ්පාදනයට බලපාන අතර එමඟින් මෝල් හිමියන් සඳහා අමුද්‍රව්‍ය හිඟයක් ඇති වේ.
  • පොල් නිෂ්පාදනයේ අඩුවීම සහ වෙළෙඳ පොළ මිල ගණන්වල උච්චාවචනයන් මෝල් හිමියන්ගේ ආදායම අස්ථාවර කිරීමට හේතු වන අතර එය ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වයට සහ සැලසුම්කරණයට බලපායි.
  • ආර්ථික අර්බුදය සහ වෙළෙඳ පොළ උච්චාවචනයන්, නිෂ්පාදන පිරිවැය වැඩිවීමට හේතු වන අතර අමුද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යාම, මෙම මෝල් හිමියන්ගේ මූල්‍ය සම්පත් කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කර තිබීම.
  • දැඩි ණය දීමේ නිර්ණායක සහ ඇපකර නොමැතිකම හේතුවෙන් දැරිය හැකි මූල්‍යකරණයක් ලබා ගැනීමේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ විට දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. මෙම මූල්‍ය සීමාව නවීන තාක්ෂණයන්හි ආයෝජනය කිරීමට සහ මෙහෙයුම් පුළුල් කිරීමට ඇති හැකියාව සීමා කරයි.
  • තිරසරභාවය පිළිබඳ ගැටලු, අපද්‍රව්‍ය කළමනාකරණය සහ තිරසාර කර්මාන්ත පිළිවෙත් ඇතුළු පාරිසරික අභියෝග සඳහා මෝල් හිමියන් අනුවර්තනය වීමට අවශ්‍ය වන අතර බොහෝ විට ඒ සඳහා අමතර ආයෝජන අවශ්‍ය වේ.
  • ශ්‍රමය,  බලශක්තිය සහ ප්‍රවාහනයට අදාළ වියදම් ඉහළ යාම.
  • කෘෂිකාර්මික අංශයේ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් - SME - නවෝත්පාදනයන් සහ නව විද්‍යාත්මක සොයාගැනීම් භාවිතය කෙරෙහි අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෙම අකමැත්ත ඔවුන්ගේ තරගකාරිත්වයට සහ වර්ධන විභවයට බාධා කරයි.
  • වෙළෙඳ පොළ තුළ ආනයනික හා දේශීය පොල්තෙල් වෙන්කර හඳුනා ගැනීමට නොහැකිවීමෙන් ආනයනික පොල්තෙල්ද දේශීය පොල්තෙල් ලෙස අළෙවි කිරීම.
  • ආනයනික පොල්තෙල් සඳහා VAT බදු නිදහස් වීම, දේශීය පොල්තෙල් මෝල් හිමියන් මත අහිතකර ලෙස බලපෑම.

     (ii) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් වෙනස් කිරීම් සිදු කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සෑම අවස්ථාවකම රජය හා අප අමාත්‍යාංශය අවධානය යොමු වී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks