01

E   |     |  

 දිනය: 2024-12-17   පිළිතුර ලබා දී ඇත 

0077/2024: ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය: විස්තර

77/2024

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීමේ අරමුණ කවරේද;

            (ii)      මේ වන විට ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;

           (iii)      ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට අරමුදල් ලැබෙන මූලාශ්‍ර කවරේද;

 

 

(ii) එම මණ්ඩලය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-12-17

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     1.       රටේ ජාතික නිෂ්පාදනය උදෙසා විශාල දායකත්වයක් සපයන කෘෂිකාර්මිකයා වෙත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඔහු එම ක්‍රියාවලිය තුළ ආරක්ෂණය  කිරීම.

                        2.      කෘෂිකාර්මිකයා වයස්ගතවීමේදී හා බෙලහීනතාවකට පත්වීමේදී ඔහුට ජීවත්වීම සඳහා සාධාරණ ලෙස සහනයක් ලබා දීම.

3. බලාපොරොත්තු නොවන අවස්ථාවක                මිය යාමට සිදු වුවහොත්, ඔහුගෙන් යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දීමෙන් සහනයක් ලබා දීම.

4. ගොවීන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම.

5. සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළ තුළ ජීවිත රක්ෂණ ක්‍රමය ගොවීන්ට සමීප කිරීම.

(ii) 2024 වර්ෂයේ නොවැම්බර් මස වනවිට,

  • මාසිකව දායකයන් 179,395දෙනෙකුහට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගෙවනු ලැබේ.
  • මාසිකව පූර්ණ බෙලහීනතාවට පත් දායකයන් 94දෙනෙකුට බෙලහීන ප්‍රතිලාභ ගෙවනු ලැබේ.
  • වයස අවුරුදු 60 සම්පූර්ණවීමට පෙර මිය ගිය දායකයින්හට මරණ පාරිතෝෂික ගෙවා ඇත.

(iii) ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු, ගොවිජන සේවා කමිටු, ග්‍රාමීය ගොවි සංවිධාන, බල ‍ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරින් හා කෘෂිකර්ම පර්යේෂණ                    හා නිෂ්පාදන සහකාර නිලධාරින් මෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලීය සේවක මණ්ඩලය හා නියෝජිත ජාලය මඟින් ප්‍රවර්ධන වැඩසටහන් හා දැනුවත් කිරීම් සිදු කරන අතර, ඊට අමතරව සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු ද භාවිත කර ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරනු ලැබේ.

(ආ) (i) 1. 1987 වර්ෂයේ ගැසට් කරන ලද පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට වාර්ෂික අය වැය ප්‍රතිපාදන මඟින්,

2. නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ගොවීන්ගෙන් අය කර ගන්නා වාර මුදල් මඟින්,

3. පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ගොවීන්ගෙන් අය කර ගන්නා පසු වාරික මුදල් මඟින්,

4. මණ්ඩලයේ අනෙකුත් භෝග වගා, පශු සම්පත්, සුවසෙත හා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රම හා අනෙකුත් රක්ෂණ ක්‍රම සඳහා ලැබෙන වාර මුදල් මඟින්,

5. ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ ආවරණ ලබා දෙන වී, බඩඉරිඟු, මිරිස්, සෝයා, අර්තාපල්, ලොකු ලූනු, වගාවන් සඳහා වන්දි ගෙවීමට අය වැය ප්‍රතිපාදන හා ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබෙන වගා රක්ෂණ බදු මුදල් මඟින් මණ්ඩලයට ප්‍රතිපාදන ලැබේ.

(ii) මණ්ඩලයේ සියලුම පරිපාලන, මෙහෙයුම්, රක්ෂණ වන්දි ගෙවීම් කටයුතු, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක කර ගැනීම් හා ගෙවීම් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ව්‍යවසාය සම්පත් සැලැස්ම -Enterprise Resource Plan, ERP-  හඳුන්වා දී එමඟින් මණ්ඩලයේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks