01

E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

0021/2025: 2018 වසරේ සිට විදේශගත වූ ශ්‍රමිකයන්: ප්‍රේෂණ

21/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       2018 වර්ෂයේ සිට මේ දක්වා රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ඔවුන් විදේශ ගතවූ රටවල් කවරේද;

(iii) එම කාල සීමාව තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුළු විදේශ විනිමය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඔවුන්ගේ සුභසාධනය සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)         (i)      2018 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමික සංඛ්‍යාව පහත පරිදි වේ.

වසර

විදේශගත වූ ශ්‍රමිකයින් සංඛ්‍යාව

2018

   211,234

2019

   203,085

2020

     53,698

2021

   122,905

2022

   310,948

2023

   297,585

2024

   314,676

2025

   311,125

මුළු එකතුව

1,825,256

 

 

 

 

 

 

(ii) ඇමුණුම 01 යටතේ දක්වා ඇත.  ඇමුණුම සභාගත කරමි**.

(iii)

 

 

 

 

 

 

 

 

                 (iv)

● විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය (5 වසර - රු.25,000 / අපොස (සා.පෙළ) - රු. 30,000 / අපොස (උ.පෙළ) - රු.40,000)

මෙම ප්‍රතිලාභ ලබාදීම සඳහා පහත නිර්ණායක සලකා බලනු ලැබේ.

 

- කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගතව සිටින හෝ නැවත ලංකාවට පැමිණ ඇති ශ්‍රමිකයින්ගේ දූ දරුවකු විය යුතුය.

 

- පහ වසර ශිෂ්‍යත්වය සඳහා එම වර්ෂයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු මට්ටම ලබා සමත් වී තිබිය යුතුය.

- අපොස (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් ශිෂ්‍යත්වයට හිමිකම් ලැබීමට අවම වශයෙන් ගණිත විෂය ඇතුළුව විෂයන් 06ක් සමත් විය යුතු අතර, විෂයන් 03ක් සඳහා සම්මාන සාමර්ථ සහිතව උසස් පෙළ හදාරමින් සිටිය යුතුය.

- අපොස (උසස් පෙළ) සම්බන්ධයෙන් ශිෂ්‍යත්වයට හිමිකම් ලැබීමට විභාගය සමත් වී රජයේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලයක පූර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හෝ ජාතික කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක වසර 2කට වැඩි කාලයක් සඳහා වූ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් සිටිය යුතුය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ 1996 වසරේ සිට 2025.12.31 දක්වා ශිෂ්‍යත්වලාභීන් 58,467 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1,262.17ක මුදලක් ප්‍රදානය කර ඇත.

  ● විදේශගතව සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා සහ විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ වසර 05ක් ඇතුළත අයදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රුපියල් 10,000ක් වටිනා පාසල් උපකරණ කට්ටල ලබාදීම. 2025.12.31 වන විට පාසල් උපකරණ කට්ටල 6,734ක් ලබාදී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 72.147ක මුදලක් වැය වී ඇත.

● විවිධ හේතූන් මත රක්ෂණාවරණය යටතේ හිමිකම් නොලැබෙන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුබසාධක අරමුදල මඟින් එම අරමුදල් කමිටුවේ තීරණය මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර ලබාදීම සිදු කරන අතර, මරණයකදී රුපියල් 300,000ක් ලබාදීම සිදු කෙරේ.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගත වන ශ්‍රමිකයන්හට නොමිලේ ලබාදෙන දේශීය රක්ෂණාවරණය යටතේ රක්ෂණ වන්දි ලබාදීම.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී ප්‍රථම වරට ගෘහස්ථ අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමික කාන්තාවන්ගේ පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා සතොස වවුචර්පත් ලබාදීම.

  ● විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දූ දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මූල්‍යමය ආධාර ලබාදීම හා සමස්ත ලංකා මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින් විශේෂ දක්ෂතා ඇති දරුවන් සඳහා එම දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට අවශ්‍යතාව අනුව මූල්‍යමය ආධාර ලබාදීම.

   (මෙහිදී ඉදිරිපත් වන ඉල්ලීම් (ඍජුව / ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් / කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල) පිළිබඳව සලකා බලා සනාථ කිරීම් අදාළ පාර්ශ්ව මඟින් සිදු කර ගැනීමෙන් පසු කාර්යාංශ සභාපති වෙත ඉදිරිපත් කරනු ලබන යෝජනා ඇතුළත් වාර්තාවකට අනුව මූල්‍ය ප්‍රදානයන් සිදු කරනු ලැබේ. 2025 වසර සඳහා දැනට දරුවන් 92ක් සඳහා මිලියන 2.532ක් ප්‍රදානය කර ඇත.)

  ● විදේශ රැකියාවක නියුක්තව සිටියදී අනතුරක් හේතුවෙන් පූර්ණ-ස්ථීර ආබාධිත තත්ත්වයට පත්වන, නිවසක් නොමැති ලංකාවට පැමිණි (සියයට 65ක ඉපැයීම් හැකියාවක් නොමැති) ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඉඩමක නිවසක් සාදා දීම.

   2024 වසරේ රුපියල් මිලියන 01 බැගින් වටිනාකම් සහිත නිවාස ව්‍යාපෘති 04ක් අදාළ ශ්‍රමිකයින් වෙත ලබාදී ඇත.

   වර්තමානයේදී රුපියල් මිලියන 01කින් නිවසක් සාදා දීම අපහසු බැවින්, 2025 වර්ෂයේ සිට එම මුදල රුපියල් මිලියන 02ක් දක්වා ඉහළ නංවා ඇත. තවත් පූර්ණ ආබාධිත ශ්‍රමිකයින් 07 දෙනෙකු සඳහා මේ වන විට නිවාස ඉල්ලුම් කර ඇති අතර, එම නිවාස සාදාදීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

  ● විදේශගත පවුල්වල සාමාජිකයින්ට පළාත් මට්ටමින් වෛද්‍ය කඳවුරු පැවැත්වීම.

    2025 වසරට එක් පළාතකට එක් වෛද්‍ය කඳවුර බැඟින් වෛද්‍ය කඳවුරු 8ක් පවත්වා ඇති අතර, විදේශගතව සිටින හා නැවත පැමිණි විගමනික ශ්‍රමිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා අවශ්‍ය වෛද්‍ය ආධාර ලබාදීමට එමඟින් කටයුතු කර ඇත.

  ● විදේශගත ශ්‍රමිකයින්ගේ හෝ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයන්ට ඖෂධ හා පෝෂ්‍යදායී ආහාර ලබා දීම.

    මෙහිදී ඉදිරිපත් වන ඉල්ලීම් පිළිබඳව සලකා බලා ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා සහ ලේඛන විශ්ලේෂණය කර මූල්‍ය සහන ලබාදීම සිදු කරනු ලැබේ.

    2025 වසර සඳහා මේ වන විට රුපියල් මිලියන 4.251ක් පුද්ගලයින් 81ක් වෙත මූල්‍ය සහන ලෙස ප්‍රදානය කර තිබේ.

  ● විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ පවුල්වල සිදුවන හදිසි ආපදා තත්ත්වයන් සඳහා මූල්‍යමය ආධාර ලබා දීම.

    -  ප්‍රධාන අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කරයි.

1.  හදිසි මූල්‍ය සහන - හදිසි ආපදාවක් හේතුවෙන් යම් බලපෑමක් ඇති වී ඇති ශ්‍රමික පවුල් සඳහා වියළි ආහාර ලබා ගැනීමට රුපියල් 15,000ක මූල්‍ය සහනයක් ලබා දීම.

2.  ස්වාභාවික හදිසි ආපදාවක් හේතුවෙන් නිවසට සිදුවන යම් භෞතික හානියක් සඳහා රුපියල් 50,000කට යටත්ව මූල්‍යාධාරයක් ලබා දීම. (හානිපූර්ණය සඳහා)

3.  තවදුරටත් හානිපූර්ණය සඳහා මූල්‍ය සහන ලබා දීම. (මේ සඳහා විධිමත් ලෙස ලංකාවට මුදල් ප්‍රේෂණය කර ඇති ප්‍රමාණය සලකා බැලේ.)  මේ යටතේ මේ වන විට පුද්ගලයින් 195ක් සඳහා රුපියල් මිලියන 3.27ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇත. (2026 වසර සඳහා නව ක්‍රමවේදයක් යටතේ මෙම ප්‍රතිලාභ ලබාදීම පුළුල් කිරීමට යෝජනා කර ඇත.)

  ● ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව විදේශ සේවා නියුක්තිකයන් සඳහා දායකත්ව විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.

  ● විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වැඩි වශයෙන් සිටින ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි පාසල්හි විදුහල්පතිවරුන්ගෙන් හෝ සංවර්ධන නිලධාරින්ගෙන් හෝ ලැබෙන ඉල්ලීම් සලකා බලා රුපියල් ලක්ෂ 10ක වටිනාකමින් යුත් අවශ්‍යතාවක් සම්පූර්ණ කර දීම. (CSR Project)

  ● විදේශගතව සිට ලංකාවට පැමිණි විගමනිකයින්ට ස්වයං රැකියා ආධාර ලබා දීම.

    ● කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවකට ගොස් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් විදේශ රැකියාවෙහි නිරතව ආපසු තම මව්බිමට පැමිණ අවුරුදු 5ක් නොඉක්මවූ විගමනික ශ්‍රමිකයින් වෙත අදියර දෙකක් යටතේ රුපියල් 150,000ක මූල්‍ය නොවන ආධාර ලබා දීම. (ස්වයං රැකියාවට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීම ආදිය සඳහා) 2025 වර්ෂය සඳහා 2025.12.31 දින වන විට ආපසු පැමිණි විගමනිකයින් 307 දෙනෙකු සඳහා රුපියල් මිලියන 15.809ක මුදලක් ලබා දී ඇත.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී දැනට විදේශ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් වෙත ස්වයං රැකියාවක් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යනු ලබන ස්වයං රැකියාව වැඩිදියුණු කර ගැනීම සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ රුපියල් 150,000ක උපරිමයකට යටත්ව අදියර දෙකකදී ද්‍රව්‍යමය ආධාර (මූල්‍ය නොවන) ලබා දීම. 2025 වර්ෂය සඳහා 2025.12.31 දින වන විට විදේශගත ශ්‍රමිකයින් 84 දෙනෙකු සඳහා රුපියල් මිලියන 4.7ක මුදලක් වැය වී ඇත.

  ● විදේශ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණ ව්‍යාපාර ආරම්භ කර සාර්ථකත්වයට පත් ශ්‍රමිකයින් ඇගයීම සඳහා රුපියල් 50,000ක මූල්‍යමය ආධාර ලබාදීම හා ඔවුන්ගේ ව්‍යාපාර ඇගයීම සඳහා ප්‍රචාරක අංශය මඟින් ප්‍රචාරණයක් ලබා දීම.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයන්ට බහුවිධ ණය යෝජනා ක්‍රමය යට‍තේ සියයට 8ක පොලියට රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය ලබා දීම.

  ● ආපසු පැමිණ විගමනික ශ්‍රමිකයන් සඳහා ව්‍යවසායකත්ව සහාය සඳහා මූල්‍ය ආධාර ලෙස එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පස්දෙනා බැගින් තෝරාගෙන රුපියල් 1,000,000ක ආධාරය, රුපියල් 500,000ක ආධාරය සහ රුපියල් 250,000ක ආධාර 3ක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් සඳහා රුපියල් මිලියන 744ක ආධාර ලබා දීම සහ ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම. 2025 වර්ෂය සඳහා 2025.12.31 දින වන විට 37 දෙනෙකු සඳහා රුපියල් මිලියන 10.87ක් වැය වී ඇත.

  ● ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් දක්වා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමට රැස්වීම් පැවැත්වීම. 2025 වර්ෂය සඳහා 2025.12.31 දින වන විට රැස්වීම් 31ක් පවත්වා ඇත.

 ● කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගතව ආපසු සිය රටට පැමිණි විගමනික ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ පවුලෙහි සාමාජිකයකු කාර්යාංශය / පළාත් කාර්යාලය වෙත යම් සේවාවක් ලබා ගැනීමට පැමිණීමේදී ඔහුට / ඇයට යම් උපදේශන සේවාවක් අවශ්‍ය යැයි හැඟී ගියහොත් සුදුසු උපදේශන මධ්‍යස්ථානයකට යොමු කිරීම. 2025 වර්ෂය සඳහා 2025.12.31 දින වන විට පුද්ගලයින් 79 දෙනෙකු සඳහා උපදේශනයන් ලබා දී ඇත.

  ● විගමනික ප්‍රජාව‍ගේ සමාජයීය හා ආර්ථික අභිවෘද්ධිය උදෙසා වූ වැඩසටහන් සංවිධානය කිරීම පිණිස රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

  ● විගමනික ශ්‍රමිකයින්ගේ නිෂ්පාදන අළෙවි පහසුකම් ලබා දීම සඳහා වෙළෙඳ පොළවල් පැවැත්වීම. කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතව ආපසු පැමිණි  විගමනික ශ්‍රමිකයින් පවත්වාගෙන යනු ලබන ව්‍යපාර හෝ ස්වයං රැකියාවන්හි නිෂ්පාදන අළෙවි කර ගැනීම සඳහා පහසු කිරීම හා දිරිගැන්වීම සඳහා 2025 වර්ෂය සඳහා 2025.12.31 දින දක්වා ප්‍රාදේශීය මට්ටමින් "විගමනික ශ්‍රමික නිෂ්පාදන අළෙවි පොළවල්" 28ක් සඳහා රුපියල් මිලියන 1.597ක් වැය කර ඇත.

  ● ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයින් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ පවුල්වල ආර්ථික ශක්තිය නඟා සිටුවීම සඳහා සමුපකාර පිහිටුවීම.

    ● ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයින් කළමනාකරණය හා සකසුරුවම්කම පිළිබඳ දැනුවත් කිරීම හා උපයා ගත් ධනය නාස්තියකින් තොරව වියපැහැදම් කිරීම හා ආයෝජනය කිරීම තුළින් ඔවුන්‍ගේ අනාගතය ආර්ථිකමය වශයෙන් සුරක්ෂිත කිරීම සඳහා විගමනික ප්‍රජාව අතර සමුපකාර පිහිටුවීම. 2025 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට සමුපකාර 4ක් පිහිටුවා ඇත.

  ● කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වන ශ්‍රමිකයන්ගේ මරණයකදී රක්ෂණාවරණය යටතේ රුපියල් 600,000ක මුදලක් යැපෙන්නන් හට ලබා දෙනු ලබයි. මෙම මුදලට අමතරව සේවක සුබසාධන අරමුදල ද මිය ගිය අය වෙනුවෙන් තවත් රුපියල් 1,400,000ක මුදලක්, එනම් මුළු මුදල රුපියල් 2,000,000ක් දක්වා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිටියදී මිය යන අයගේ අවමංගල්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කර ලබාදීමට සැලසුම් කර ඇත.

  ● කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියාවක නිරත වී සිටින කාන්තාවන්ගේ අවුරුදු 2-5 වයසේ සිටින දරුවන්ගේ පෝෂණ ඌනතා සඳහා අවශ්‍ය කිරිපිටි ලබා දීම.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක නියුතු වී සිටියදී මරණයට පත්වන විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට අවශ්‍යතාව අනුව කාර්යාංශය මඟින් ලබාදෙන පුහුණු පාඨමාලාවන් නොමිලේ ලබාදීම සඳහා යොමු කිරීම.

  ● කාර්යාංශයේ ලියාපදිංචි වී ‍විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් සඳහා කාර්යාංශය හා මහ බැංකුව අනුමත බැංකු හරහා රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් ඇත. මෙම ණය මුදල නිවසක් මිලදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම සඳහා ලබා ගත හැකි අතර, බැංකුව අය කරනු ලබන පොලී ප්‍රතිශතයෙන් කොටසක් පහත ආකෘතිය පරිදි කාර්යාංශයෙන් ප්‍රතිපූරණය කිරීමට කටයුතු සලසා ඇත. ණය ගෙවිය හැකි කාලසීමාව වසර 10කි.

  ● කාර්යාංශ ලියාපදිංචිය ලබා විදේශගත සේවයේ යෙදී සිටින ඇමෙරිකානු ඩොලර් 300ට අඩු වැටුපක් ලබන විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් යොමු කර ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට මූල්‍යමය දායකත්වයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී.

  ● පස්වැනි ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අධ්‍යයනය කරන විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම.

  ● ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරත වන / ආපසු පැමිණි ශ්‍රමිකයින්ගේ (මාසික වේතනය ඩොලර් 300ක් හෝ ඊට අඩු වැටුප් ලබන) රජයේ විශ්වවිද්‍යාලයක හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරන හෝ රජයේ අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමා / NVQ 4 මට්ටමින් ඉහළ පාඨමාලාවක් හදාරන දූ දරුවන් වෙනුවෙන් රුපියල් 200,000ක උපරිමයකට යටත්ව ලැප්ටොප් සහ වෙනත් අධ්‍යාපනික / ක්‍රීඩා උපකරණ ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

  ● කාර්යාංශයේ සක්‍රිය ලියාපදිංචිය සහිත විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සමඟ ඒකාබද්ධව සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය සමඟ එක්ව දිගු කාලයක් විදේශ රැකියාවන්හි නිරත වූ හා වර්තමානයේ සක්‍රිය කාර්යාංශ ලියාපදිංචිය සහිත ශ්‍රමිකයින්ට කාර්යාංශයේ දායකත්වය හා අදාළ ශ්‍රමිකයින් / විදේශ රැකියා නියෝජිත ආයතනයන්ගේ දායකත්වය සහිතව විශ්‍රාම වැටුප් ක්‍රමයක ප්‍රතිලාභ ලබා දීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks