01

E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

2043/2024: සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම: වැයකර ඇති මුදල

2043/2024

ගරු ලලිත් එල්ලාවල මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල කොපමණද;

              (ii)       එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා විදේශ පරිත්‍යාග ලැබුණේද;

            (iii)       එසේ නම්, එම එක් එක් විදේශ පරිත්‍යාගයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;

(ii) නොඑසේ නම්, එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අදාළ ආයතනය තෝරා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;

(iii) ඉදිකිරීම් විදේශ ආයතනයක් විසින් සිදුකරන ලද්දේ නම්, එහි ශ්‍රී ලාංකික නියෝජිතායතනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැය කර ඇති රජයේ අරමුදල් ප්‍රමාණය කොපමණද;

(ii) එම අරමුදල් ලබා ගන්නා ලද ආයතන කවරේද;

  (iii) එම ක්‍රීඩාංගණය විවෘත කරන ලද දිනයේ සිට මේ දක්වා එහි ආදායම සහ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රුපියල් 4,803,529,976.12 (බදු රහිතව) (බිලියන 4.8)

              (ii)      නැත.

             (iii)      අදාළ නොවේ.

(ආ)         (i)      නැත.

              (ii)      හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් සිදු කර ඇත. මෙම ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ පළමු අදියරේ විචල්‍ය නියෝගයක් ලෙස සිදු කර ඇති බැවින් එම කොන්ත්‍රාත්කරු හරහා ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත.

(iii) ශ්‍රී ලාංකික නියෝජිතවරයෙක් නොමැත.

 

(ඇ) (i) මහජන බැංකුව මඟින් ණය මුදලක් ලබා ගෙන ඇති බවත් රජයේ අරමුදල් ලබා ගෙන තිබේද යන්න පිළිබඳ තොරතුරු වරාය අධිකාරිය සතුව නොමැති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වෙතින් දන්වා ඇත. මේ සඳහා රජයේ අරමුදල් ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ද දන්වා නොමැති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩාංගණය සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වරාය අධිකාරියට ගෙවා ඇති බවත්, රුපියල් බිලියන 1.6ක මුදලක් ඔවුන් විසින් මෙම ක්‍රීඩාංගණය සඳහා ඍජුව වියදම් කර ඇති  බවත් දන්වා ඇත.

2017.11.20වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් පරිදි 2017.10.17 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල පියවීම සඳහා මහජන බැංකුවෙන් රුපියල් 3,950,858,869.57ක (බිලියන 3.9ක) ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇත. විස්තර ඇමුණුම 01 හි දක්වා ඇත.

2017.12.08 දින පැවති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය ප්‍රකාරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මහජන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීමට අනුමැතිය ලබා දී ඇත. විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

2018.11.05 දින අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව 2017 වර්ෂයේ සිට මෙම මුදල ශ්‍රී ලංකා වරාය ගිණුම් ප්‍රකාශ තුළට ඇතුළත් කර ගෙන ඇත. විස්තර ඇමුණුම 03හි දක්වා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා මහජන බැංකුව සමඟ ඇති කරගත් ගිවිසුමේ 3.1 (C)  වගන්තිය අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල සඳහා ප්‍රතිපාදන ලබා දීමට එකඟ වී ඇත. විස්තර ඇමුණුම 04හි දක්වා ඇත.

ඒ අනුව, මේ දක්වා අදාල ණය මුදලෙහි ගෙවීම් කටයුතු වරාය හා නාවික අමාත්‍යාංශය විසින් සිදු කරගෙන යනු ලැබේ.

(ii) අදාළ නොවේ.

(iii) සමස්ත පරිපාලන වියදම ලෙස වසර 12ක් සඳහා රුපියල් 426,560,681.82ක් (මිලියන 426ක්) ද, දේශීය තරග සඳහා ක්‍රීඩාංගණ වෙන් කිරීම වෙනුවෙන් රුපියල් 12,018,453.10ක (මිලියන 12) ආදායමක් ද ලබා ඇති අතර (ඇමුණුම 05හි දක්වා ඇත) 2011 ලෝක කුසලානය සහ 2012 ලෝක කුසලාන තරගාවලි වෙනුවෙන් පැවැත්වූ තරග ඇතුළුව ජාත්‍යන්තර එක්දින තරග 26ක් සහ T20 තරගාවලි 7ක් ද (ඇමුණුම 06හි දක්වා ඇත) මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති අතර ඒවායෙන් ලැබූ ප්‍රවේශ පත්‍ර ආදායම සහ අදාළ තරගය වෙනුවෙන් ලබා ගන්නා ලද විකාශන අයිතිය වෙනුවෙන් සහ අනෙකුත් අනුග්‍රාහකයින් මඟින් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උපයා ගෙන ඇත.

(ඈ) අදාළ නොවේ.

ඇමුණුම් 01, 02, 03, 04, 05 සහ 06 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks