පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2596/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 - 2011 අතර කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේඛනගතව රැකියා සඳහා විදේශගත වී ඇති කාන්තාවන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත පරිදි රැකියා සඳහා විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව එම එක් එක් වර්ෂයේදී රැකියා සඳහා විදේශගතවූ සම්පූර්ණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම කාන්තාවන් කුමන වෘත්තීන් සඳහා විදේශගතවී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විදේශ රැකියා සඳහා නික්ම යන කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මකවන වැඩපිළිවෙළ කවරේද;
(ii) ඉදිරියේදී එම වැඩපිළිවෙළ වඩාත් විධිමත්ව හා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එය සිදුකරන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-08
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
(ii)
|
වර්ෂය |
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
|
කාන්තා පිටත්වීම් |
137,394 |
111,778 |
114,983 |
122,267 |
127,745 |
130,657 |
126,654 |
|
මුළු පිටත්වීම් සංඛ්‍යාව |
231,290 |
201,948 |
218,459 |
250,499 |
247,126 |
267,507 |
262,961 |
|
කාන්තා පිටත්වීම් |
137,394 |
111,778 |
114,983 |
122,267 |
127,745 |
130,657 |
126,654 |
|
ප්‍රතිශතය |
59.40% |
55.35% |
52.63% |
48.81% |
51.69% |
48.84% |
48.16% |
(iii) මේ පිළිබඳව ඒ ඒ රටවල් අනුව, වර්ෂානුකූලව ඉදිරිපත් කරන ලද විශාල වාර්තාවක් මෙම පිළිතුරට අමුණා තිබෙනවා. එම ඇමුණුම මා සභාගත* කරනවා.
(ආ) (i) විදේශ රැකියා සඳහා නික්ම යන කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය සඳහා දැනට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්වීමේදී ඇය ගෘහ ආශ්‍රිත රැකියා සඳහා යන්නේ නම් පවුල් පසුබිම් වාර්තාව සඳහා නිර්දේශයක් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීම නවතම වැඩසටහන වේ. ඒ සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය මඟින් සංවර්ධන නිලධාරින් පත් කර ඇත. එම නිලධාරින් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, වෙනත් අමාත්‍යාංශයක සුදුසු නිලධාරියෙක් ප්‍රාදේශීය ලේකම් විසින් මේ සඳහා යොදා ඇත. විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය අනෙක් සියලු ක්‍රියාවන්වලට පෙර මෙම වාර්තාව ලබා ගැනීම මඟින් එම කාන්තාවන්ට අවශ්‍ය නීති උපදෙස් ලබා දීමට සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ලැබේ.
මෙම පවුල් පසුබිම් වාර්තාව ලබා ගැනීමෙන් අප බලාපොරොත්තු වන්නේ මෙන්න මේ කාර්යය කිරීමටයි. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටිනවා නම් අප එම කාන්තාවන්ට පිට රට යන්න දෙන්නේම නැහැ. වයස අවුරුදු 5ට වැඩි දරුවන් සිටිනවා නම් අප ඒ වාර්තාවෙන් බලනවා ඒ දරුවන්ගේ වැඩ කටයුතු ගැන බලන්න සීයා කෙනෙක්, ආච්චි කෙනෙක් හෝ ලොකු අම්මා වැනි කෙනෙක් ඉන්නවාද කියලා.
විදේශ රැකියාවට යාමට පෙර ශ්‍රමිකයාට ලබා දෙන අනිවාර්ය ලියා පදිංචිය අයිතීන් සුරැකීමේ තවත් ක්‍රියා මාර්ගයකි. විදේශ රැකියාවට යාමට පෙර ගෘහ සේවාවට යන කාන්තාවන් සඳහා ලබා දෙන පුහුණුව ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 03 ගණයට ගැනෙන පුහුණුවකි. මෙමඟින් සේවා ස්ථානවල තිබෙන වෘත්තීමය අවශ්‍යතා සඳහා වෘත්තීය පුහුණුවද, ශ්‍රමික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේදී ඇය මුහුණ දෙන අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහාද පුහුණුව ලබා දේ. විදේශ රටේ භාෂාව පිළිබඳව මූලික පුහුණුවක් මඟින් සේවා ස්ථානයේ සන්නිවේදනය සඳහා උදවු වන භාෂා දැනුමද, අදාළ රටේ සංස්කෘතිය, නීතිය පිළිබඳව අවබෝධයක්ද, විදේශ රටවලින් එන ශ්‍රමිකයන් සඳහා බලපවත්නා නීති හා ක්‍රමවේද පිළිබඳවත් ශ්‍රමිකයකු ලෙස තිබෙන අයිතිවාසිකම්ද මෙහිදී උගන්වනු ලබයි.
රැකියාව සඳහා යන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් රැකියාවලට යාමට පෙර රැකියා ගිවිසුම් නොහොත් සේවා ගිවිසුම් අත්සන් කිරීම අනිවාර්යය කර ඇත. රැකියා නියෝජිත ආයතන මඟින් රැකියා සඳහා යන අයත් ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා යන අයත් මෙම ගිවිසුම කාර්යාංශයේ බලයලත් නිලධාරින් ඉදිරිපිට අත්සන් කිරීම අනිවාර්යය වේ. එහිදී ගිවිසුමෙහි ඇති කොන්දේසි සියල්ලම ශ්‍රමිකයාට පැහැදිලි කර දෙන අතර උල්ලංඝනය වුවහොත් ගන්නා ක්‍රියා මාර්ගද පැහැදිලි කර දේ.
දේශීය රැකියා නියෝජිත ආයතන සඳහා බලපැවැත්වෙන නියාමන ක්‍රමවේදය සකස් කර ඇත්තේද ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාය. එහිදී වාර්ෂිකව අලුත් කරන බලපත්‍රයක් ලබා දීම, බඳවා ගැනීමේදී අනුමත ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම පෙන්වා දිය හැකිය. දේශීය රැකියා නියෝජිතයෙක් සිය රැකියා ඇබෑර්තු සඳහා අනුමැතිය ලබා ගැනීමේදී විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා තානාපති කාර්යාලය දක්වා විහිදෙන ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත.
ශ්‍රමික කාන්තාවන්ගේ අයිතිවාසිකම් යම් ආකාරයකට උල්ලංඝනය වී තිබේ නම් දේශීය රැකියා නියෝජිතයා හා විදේශ රැකියා නියෝජිතයා එය විසඳීමට සාධාරණ උත්සාහයක් ගෙන නොතිබේ නම් ඔවුන් හරහා වන්දි ලබා දීමක් මඟින් හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කාර්යාංශය පියවර ගනි. ඒ සඳහා 1985 අංක 21 දරන පාර්ලිමේන්තු පනත ප්‍රකාර 44 වගන්තියෙන් බලය ලබා දී ඇත. එය ක්‍රමවේදයක් ලෙස සමථකරණය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. රැකියා නියෝජිතයින් අසාදු ලේඛනගත කිරීමද මෙම ක්‍රියාවලියේ තවත් අංගයකි. තානාපති කාර්යාලයේ පිහිටුවා ඇති විදේශ රැකියා අංශය කාර්යාංශය මඟින් නඩත්තු කරන අතර සුරක්ෂා නිවාස පවත්වාගෙන යාම සහ කාර්ය මණ්ඩලය පත් කිරීම මඟින් නීතිමය තත්ත්වයන්හරහා අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත් කාර්යාංශය පියවර ගනි. තවද තානාපති කාර්යාලය මඟින් එරට බඳවා ගැනීම් කරන ඒජන්සිවලට පනවා ඇති නීති ඔවුන්ගෙන් ලබා ගන්නා බැඳුම්කර හරහා ශ්‍රමික අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගනි.
රැකියා සඳහා ගිය අයෙකුගේ සේවා ස්ථානයේ ඇති වන ප්‍රශ්නයක් කාර්යාංශයට වාර්තා වූ වහාම එම ශ්‍රමිකයා බඳවා ගත් දේශීය රැකියා නියෝජිතයාට අදාළ පැමිණිල්ල පිළිබඳ කෙටි පණිවිඩයක් එම රැකියා නියෝජිතයාගේ ජංගම දුරකතනයට කාර්යාංශයේ පැමිණිලි අංශය මඟින් යවනු ලැබේ. පැය 24ක් තුළ එම දේශීය රැකියා නියෝජිතයා අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගෙන කාර්යාංශයට දැනුම්දීම අනිවාර්යය වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ විමර්ශන අංශය මගින් රැකියා සඳහා බඳවා ගැනීමේදී කාන්තාවකට යම් අසාධාරණයක් සිදුවී ඇති බවට ලැබෙන පැමිණිලි විභාග කරනු ලැබේ. මෙම පැමිණිලි කාර්යාංශය තුළ විභාග කරන අතර, පාර්ශ්වයක් එකඟ නොවන අවස්ථාවල අධිකරණය වෙත ඉදිරිපත්කර එම කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කර දීමට පියවර ගනී.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියාවට යන කාන්තාව පමණක් නොව ඇයගේ පවුලේ භාරකරු - ඒ කියන්නේ කාන්තාවක් නම් ඇගේ ස්වාමිපුරුෂයා- අනිවාර්යය වැඩසටහනක් හරහා දැනුවත් කරනු ලැබේ. මෙමගින් පවුලට අවශ්‍ය සියලු තොරතුරු ලබාදේ. එය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඉහළ උපකාරයක් සලසයි.
තවද, සමහර දිස්ත්‍රික් කාර්යාලවල දැනටමත් ස්ක්‍රයිප් පහසුකම් මගින් ඒ කාන්තාව පිටරට ගියායින් පස්සේ අවශ්‍ය නම් ඇයට කථා කිරීමට අවස්ථාව සලසා දීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීම කර ගෙන යනවා.
තවද විශේෂ වැඩසටහනක් මගින් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව ඇති කිරීම සඳහා දැනුම හා කුසලතාව සලසාලන අතර, ඔවුන්ට මුදල් කළමනාකරණය පිළිබඳවද විශේෂ අවබෝධයක් ලබා දීම මගින් තමා උපයන මුදල අදාළ බැංකු ගිණුමකට එවීමට අවශ්‍ය ගිණුම් ආරම්භ කර රට යාමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. තමා උපයන මුදල ප්‍රාග්ධනයක් බවට පත් කර ගැනීමේ අයිතිය මෙමගින් ආරක්ෂා වේ.
තවද, මොවුන්ගේ සංනිවේදන අයිතිය ආරක්ෂා කර දීම සඳහා සිම් කාඩ් පතක් නොමිලේ ලබා දීම ද කාර්යාංශය මගින් ආරම්භ කර ඇත.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඒ කාලයේ තිබුණු සමෘද්ධි බැංකුව වාගේ දැන් කියන්නේ දිවි නැගුම බැංකුව හරහා ඉතාම සාර්ථක අන්දමින් නිවාස වැඩ සටහනක් මේ සඳහා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වාගේම රතු කුරුස ආයතනයත්, ද ෆිනෑනස් ආයතනයත් එක්ක එකතු වෙලා, පිටරට ගිහින් නැවත ලංකාවට එන අයට "රට විරු රැකවරණ" නමින් ස්වයංරැකියා වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා.
(ii) ඔව්.
(iii) කාන්තා ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රමිකයන් ගෙන්වා ගනු ලබන රටවල් සමඟ පවතින අවබෝධතා ගිවිසුම් නැවත විමර්ශනය කිරීමටත්, අලුත් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කිරීමටත් සැලසුම් කර ඇත.
සෞදි අරාබිය කවදාවත් කැමැති වුණේ නැහැ, ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කරන්න. අපට මෑතකදී හැකියාව ලැබුණා, සෞදි අරාබිය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරන්න. එමඟින් රැකියා ගිවිසුම් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනු ලැබේ. රැකියා ගිවිසුම් ක්‍රමය තවදුරටත් විධිමත් හා ව්‍යුහගත එකක් බවට පත්කිරීමත්, එම ගිවිසුම්වලට නව කොන්දේසි ඇතුළු කිරීමත් ඉදිරියේදී සිදු කරනු ලැබේ.
ගරු මන්ත්‍රීතුමනි, ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අමතරව අපි බහු පාර්ශ්වික ගිවිසුම්වලටත් ඇතුළු වනවා. උදාහරණයක් හැටියට මේ වන කොට කොළඹ ක්‍රියාදාමය - Colombo Process - නමැති මැද පෙරදිග රැකියා සඳහා ආසියාවේ ශ්‍රමිකයන් යවන රටවල එකතුවක් තිබෙනවා. එය ආරම්භ වුණේ 2003 දී ලංකාවේදීයි. අවුරුදු 10කට පස්සේ එහි සභාපතිත්වය නැවත ලංකාවට පැවරී තිබෙනවා. ඒ ඒ රටවල් අතර ද්විපාර්ශික වශයෙන් ඇති වන ගිවිසුම්වලට අමතරව බහු පාර්ශ්වික වශයෙන් මැද පෙරදිග රටවලට ශ්‍රමිකයන් යවන කණ්ඩායමක් හැටියට අපි උත්සාහ කරනවා, standard service agreement එකක්, recruitment fees, හැකියාව තිබෙනවා නම් minimum wages යන කාරණා පිළිබඳව බහු පාර්ශ්වික වශයෙන් Colombo Process කියන පිට රටට ආසියාවේ ශ්‍රමිකයන් යවන රටවල එකතුවේ තීන්දු Abu Dhabi Dialogue කියන මැද පෙරදිග ආසියාවේ -
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks