01

E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1151/2024: සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය : ක්‍රියාමාර්ග

1151/2024

ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගම්මිරිස්, කරාබුනැටි, එනසාල් සහ කුරුඳු වැනි සුළු අපනයන භෝග වගාව ග්‍රාමීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

             (ii)       ඉදිරියේදී සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රදේශ කවරේද;

(iii) සුළු අපනයන භෝග සඳහා පොහොර ලබා දීමට වැඩපිළිවෙළක් තිබේද;

(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

(v) සුළු අපනයන භෝග ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුරුඳු වාණිජ භෝගයක් ලෙස සංවර්ධනය කිරීම උදෙසා 2023.09.01 දින සිට "කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව" ස්ථාපනය කර ඇත. ඒ අනුව, කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය     සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත.

 

       v   කුරුඳු නව වගාව ව්‍යාප්ත කිරීම සඳහා ආයෝජන ආධාර යටතේ කුරුඳු පැළ බඳුනකට රුපියල් 7 බැගින් ගොවීන්ට නිකුත් කිරීම (මෙම කුරුඳු පැළ බඳුනකට රජය විසින් අනුමත කර ඇති මුදල රුපියල් 25ක් වන අතර, ඉතිරි රුපියල් 18ක මුදල රජය විසින් අදාළ පැළ සපයන ලියාපදිංචි තවාන් වෙත ගෙවනු ලැබේ.)

v සාම්ප්‍රදායිකව කුරුඳු වගා නොකරන ප්‍රදේශ වන කුරුණෑගල, කෑගල්ල, ගම්පහ,              බදුල්ල, මොනරාගල, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් කුරුඳු වගාව පිළිබඳව දැනුවත් කිරීම සහ පුහුණුව ලබා දීම.

v රාජ්‍ය නිලධාරින්, පාසල් ළමුන් ඉලක්ක කරගෙන කුරුඳු වගාවේ වැදගත්කම සහ රජය මඟින් එම වගාව ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමෙන් පැවැත්වීම.

v ග්‍රාමීය මට්ටමින් කුරුඳු සැපයුම්කරුවන් පුහුණු කිරීම තුළින් තෝරාගන්නා සැකසුම්කරුවන්ට ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී ජාතික වෘත්තීය පුහුණු සහතිකය - NVQ - ලබා දී විධිමත් සැකසුම්කරුවන් ලෙස කුරුඳු කර්මාන්තයට යොමු කිරීම.

v කුරුඳු වගාව සහ කුරුඳු කර්මාන්තය පිළිබඳ මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම. (ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය හරහා)

v ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයන්ට අපනයනය සඳහා කුරුඳු සැකසීමට අවශ්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් 1,000,000ක් දක්වා ආයෝජන ආධාර ලබා දීම.

v කුරුඳු සඳහා පවතින ප්‍රාදේශීය මිල ගණන් පිළිබඳ තොරතුරු පුවත් පත් සහ ගුවන් විදුලිය තුළින් සතිපතා ප්‍රචාරය කිරීම.

v ග්‍රාමීය ව්‍යවසායකයන්ට කුරුඳු අපනයනයට අවශ්‍ය පුහුණුව, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර ගැණුම්කරුවන් සම්බන්ධ කිරීම තුළින් ඊට අවශ්‍ය සහාය ලබා දීම.

v සාම්ප්‍රදායිකව කුරුඳු අපනයනය කරන මෙක්සිකෝව, චිලී, පේරු වැනි රටවලින් පරිබාහිරව චීනය වැනි රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර, එම රටවලට ද කුරුඳු අපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහ ග්‍රාමීයව සිටින කුරුඳු අපනයනකරුවන් චීන රජයේ රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය සහාය ලබා දීම.

v කුරුඳු සඳහා භූගෝලීය දර්ශක සහතිකය - Geographical Indication certification - යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම. එම සහතිකය යටතේ කුරුඳු යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

v පවතින කුරුඳු වගාවන්ගේ ඵලදායිතාව වැඩි කර, ඒකක කුරුඳු වගාවකින් ලබා ගන්නා අස්වැන්න වැඩි කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම.

සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පහත පියවර ගෙන ඇත.

v ගම්මිරිස්, කෝපි, කොකෝවා, පැඟිරි, සාදික්කා, කරාබු, ගොරකා සඳහා ක්‍රියාත්මක කෙරෙන නව වගා වැඩසටහන් යටතේ සහන මිලට පැළ ලබා දීම. (අක්කර 1/8 -පර්චස් 20- සිට අක්කර 05 දක්වා වූ වගාවන් සඳහා)

v අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායිතාව නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒ යටතේ පහත දැක්වෙන කාර්යයන් සිදු කර ඇත.

  • සහනාධාර මිලක් යටතේ පාළු සිටුවීම සඳහා පැළ ලබා දීම.
  • සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම.
  • පළිබෝධ, සත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධති හඳුන්වා දීම.

v කාබනික ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ය‍ටතේ කාබනික වගා ලෙස අපනයන භෝග ස්ථාපනය කරමින් ගම්මාන පිහිටුවීම.

v කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

(ii)

භෝගය

වගාව ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රදේශ

කුරුඳු

ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බදුල්ල, මොනරාගල, අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව

අනෙකුත් සුළු අපනයන භෝග

මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, රත්නපුරය, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර

(iii) නැත.

(iv) අදාළ නොවේ.

(v) ඔව්.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලොහාන් රත්වත්තේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks