01

E   |     |  

 දිනය: 2013-05-09   පිළිතුර ලබා දී ඇත 

2510/2013: මානව හිමිකම් කවුන්සිල සැසිවාරය: ශ්‍රී ලංකා දූත පිරිස

2510/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2012 මාර්තු මාසය තුළ ජිනීවාහි පැවැත්වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූ සංඛ්‍යාව කොපමණද;

(ii) එම සැසිවාරයට සහභාගී වූ අයගේ නම් සහ තනතුරු කවරේද;

(iii) එම දූත පිරිස සඳහා වැයවූ මුළු මුදල කොපමණද;

(iv) මානව හිමිකම් කවුන්සිලයේදී  ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ ක්‍රමෝපායන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-09

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ) (i) ජාතික ආරක්ෂක හේතුන් මත මෙම තොරතුරු ලබා දිය නොහැකිය.

(ii) අදාළ නොවේ.

(iii) මෙයට වැය වූ මුදල රුපියල් මිලියන 59යි.

(iv)                   ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියක් සභාගත කිරීම නුසුදුසු බව ඒත්තු ගැන්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සමඟ ශ්‍රී ලංකාව කටයුතු කළාය.

                        මෙය කොළඹදී මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය ඇති අගනගරවලදී ද සිදු කරන ලදී. ගැටුම අවසන් වූවායින් පසුව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය සහ ජාතික ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත්ව තැබීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට පෙරාතුව මා විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් වෙත කරුණු පැහැදිලි කිරීමේ රැස්වීම් ගණනාවක් පවත්වන ලදී. ශ්‍රී ලංකාව අසාධාරණ ලෙස ඉලක්ක කර ගනිමින් සිටීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47හි විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කිරීම සඳහා ඔවුන් වෙත පෞද්ගලිකව ලිපිද යවන ලදී. ශ්‍රී ලංකාවේ ගැටුම්වලින් පසු අවධියේ ප්‍රවණතා පිළිබඳව පවත්නා සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා වෙනත් රටවල විදේශ අමාත්‍යවරුන් ගණනාවක් සමඟ දුරකථන සාකච්ඡා ද පැවැත්වීමි. ශ්‍රී ලංකාවේ ගැටුම්වලින් පසු අවධියේ ඇතිවූ ප්‍රවණතා පිළිබඳව පූර්ණ විස්තර අඩංගු තොරතුරු සටහන් මානව හිමිකම් කවුන්සිලයේ සියලු රටවල් වෙත සපයන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයන්, රටවල් ගණනාවකට පිටත් කර යැවූ අතර ඔවුහු එම රටවල ඉහළ පෙළේ නායකයන් රැසක් හමුවූහ. ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය, විශේෂයෙන්ම සමාන අදහස් ඇති රටවල් හරහා ජිනීවාහි සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් එරට සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් කිරීමෙහි දිගින් දිගටම නිරත විය. අනෙකුත් අගනගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් ද මෙම කටයුත්ත සඳහා සහාය ලබා දෙන ලදී.

විදේශ දූත මණ්ඩල සඳහා අක්ත ගන්වා ඇති රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත කරුණු පැහැදිලි කරන ලෙස එම දූත මණ්ඩලවලින් ඉල්ලා සිටි අතර, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ නිලධාරින් හමු වන ලෙස ජිනීවාහි සහ නිව්යෝර්ක්හි පිහිටි අපගේ දූත මණ්ඩලවලින් ඉල්ලා සිටින ලදී.

ගරු මන්ත්‍රීතුමනි,  ඒවා තමයි අපෙන් කෙරුණු වැඩ.

මෙම ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන්, රටවල් රැසක්ම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් ‍පක්ෂව හඬ නැඟු අතර, ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

 

 

 

පිළිතුරු දුන් දිනය

2013-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks